The Worst Person in the World ( 2021)








නෝර්වීජියානු සිනමාවට ඔස්කාර් දොර ඇරපු  ලෝකයේ මෙලෝ කමකට නැති පුද්ගලයා !! 

ඔබ ජීවිතය වෙනස් කරගැනීමට අවස්ථාවක් ගැනීමට නම් ඔබ යම් තේරීමක්  කල යුතු බව ජනප්‍රිය කියමනකි. මනුශ්‍යයා විසින් අත්‍යන්තයෙන්ම පැහැදිලි කරගත කරුණක් වනුයේද මේ තේරීම් හා තෝරා ගැනීම් පිළිබඳ සංදර්භයය්. ගතානුගතික ජීවන පැවැත්මට හෝ ජීවත්වන්නන් වාලේ කාලභෝජන ජීවිතයන් හට තිත තැබීමට නම් ඔබ හුදෙක් කල යුත්තේ  ජීවිතයට යම් හැරවුමක් දීම තකා තෝරාගැනීමක් කිරීමය්. ජීවන අභිලාෂයක් හදුනාගැනීමය්. Worst person In The World චිත්‍රපටයේ භාෂිතය වන්නේද  ඉහත පරිදි ජීවිතයේ ගතානුගතිකත්වයෙන් මිදීම තකා මෙන්ම ජීවන අභිලාෂයන් හදුනාගැනීම උදෙසා කල තෝරාගැනීම් හා ඉන් ශේෂ වන කරුණු මෙන්ම මානව සම්බන්ධතා සදහා එකී තෝරාගැනීම් සිදුකරන්නා වූ බලපෑම ආදී කරුණු කාරණාවන්. කෙසේ වෙතත් වැදගත්ම කරුණු වන්නේ ඉහත කරුණු චිත්‍රපටය ඔස්සේ සම්මුඛ කිරීමේදී විමසා බලන්නා වූ පුලුල් සමාජ සම්බන්ධතා උදෙසා වූ විමසුම් පරාසයය්. 

ජූලියා අතිශය රූමත් තරුණියකි. ඇය වෛද්‍ය විද්‍යාලයෙහි ඉගෙනුම ලබමින් සිටියදී ඇය ඉන් ඉවත් වන්නේ ඇය ඊට සුදුසු නැතය් සිතමිනි. ඇය පසුව චායාරූප කරණයට යොමු වෙය්. එහිදීද යම් යම් ප්‍රේම සබදතා ඇතිකරගත් ඈ ඒවාද දිනකට දෙකකට හෝ රැයකට සීමා කරය්. අවසානයෙ ඈ නවතිනුයේ පොත් හලක සේවිකාවක වශයෙනි. ඈට ඇක්සෙල් නම් හතලිස් හැවිරිදි කොමික් ශිල්පියා හමුවන්නේ ඒ අතරය. ඇය එතෙක් හැල්මේ දිවූ ඇගේ දිවිය ඈට වඩා වසර පහලොවක් වැඩිමහල් වූ ඇක්සෙල් ගේ ප්‍රේමය ඉදිරියේ නවත්වය්. ඇගේ ජීවිතයේ නියම තෘප්තිය සතුව ඇත්තේ ඇක්සෙල් ළගද ? ජූලියා ඇක්සෙල් තුලින් ඇගේ ජීවිතය සෙවීම අරබය්.

චිත්‍රපටය සම්පූර්ණයෙන්ම ජූලියා පිළිබදවය්. ජූලියා නම් අතිශය රූමත් මෙම තරුණිය ලොව කමකට නැති පුද්ගලයා වූයේ කෙසේද. නැත්නම් එය එසේ නොවෙය්ද. මගේ සිතීමට අනුව ජූලියා යනූ ලෝකයේ ගවේශනාත්මකම පුද්ගලයාය්. ඈ තෝරාගැනීම් කරන්නීය. ප්‍රේම කරන්නීය . ලිංගිකත්වය තුලින් ජීවිතය පෙරන්නීය . ලිංගිකත්වය තුල ජීවිතය සොයන්නීය. ගතානුගතිකත්වයට විසදුම් සොයන්නීය. එකතැන පල්වන කාලභෝජණ ජීවිතයට නිතරම ටටා බාය් කියන්නීය. එක තෝරාගැනීමක් වැරදෙන විට තවකක් තෝරන්නීය . මෙය හිපි ජීවිතයක් යැය් යමෙකුට සිතිය හැකි වුවත් මෙය හුදෙක් ජීවිතයේ තෘප්තිය ගවේෂණය කිරීම විනා අන්කිසිවක් නොවේ .මෙවැනි අභියෝගයන් හට සම්මුඛ වීම නිරන්තරයෙන් ම කරනුයේ ආත්මතෘප්තිය  පෝෂණය කිරීමකි. සබදතා උදෙසා වුවත් තම තමන්ගේ ජීවිතයන්හී තෘප්තිය  බිලිදීම ලෝකයේ අනූනව දෙනෙක් කලද සිය වැන්නාද එසේ කර ඒ කට්ට කායුතුමයය් නියමයක් නැත. එකෙක් හෝ ජීවිතයේ සැබෑ තෘප්තිය , සංතෘෂ්ටිය සෙවීම වැදගත්ය. ජූලි කරනුයේ එයය් ඉදින් ඈ ලොව කමකට නැති පුද්ගලයා ලෙස ඉතිරි අනූනවයට පෙනීම මහ අරුමයක් නොවන්නේය. ඈ සියල්ල අවසානයේ පරිණත වන්නීය. ගතානුගතිකත්වය තමාට අනුව වෙනස් කරගන්නීය. සියල්ල අවසානයේ ජීවිතය මරණය තෙක්ම ඉදිරියට යන බව වටහාගන්නීය

චිත්‍රපටය Joachim Trier   ගේ නිර්මාණයකි. ඔහු සාම්ප්‍රදායික  රෝමාන්තික ප්‍රහසන සිනමාවට මේ කරනුයේ කොකා පෙන්විමකි. මෙය සම්ප්‍රදායෙන් බැහැරය. හුදෙක් පිරිමින්ගේ හෝ ගැහැනුන්ගේ ලිංගික , ප්‍රේම සංදර්භය විවරණයෙන් ඔබ්බට ගොස් ඔහු ජීවිතය විමසන්නේය , ජීවිතයේ තෝරාගැනීම් , තෘප්තිය , ප්‍රේමය , අභිලාෂයන් හා ගතානුගතික පීඩිත ජීවිත මෙන්ම ජීවිතය හා මරණයද විමසන්නේය. ජීවිතයේ තෘප්තිය මෙන්ම අභිලාෂයන් හඹා යන ගමනේදී සබදතා හා බැදීම් තීරණාත්මක මෙන්ම පීඩාකාරී සාධකයක්ද යන්න විමසන්නේය. Renate Reinsve මෙහි ජූලියා ලෙස අද්විතීය රංගනයක නියැලෙන්නේය . චිත්‍රපටය තුල ඇගේ රූසපුව මෙන්ම අසහාය රංගනයද නියමාකාරයෙන්ම කැපී පෙනෙන්නකි. ජූලියා ලෙස Reinsve  කල රංගනය කෑන්ස් හීදී සම්මානයට පාත්‍ර වීම සැබවින්ම අගය කල යුත්තකි

ජූලියා ජීවිතයේ ස්ථිරභාවය සොයනුයේ අස්ථිර විසදුම් හා තේරීම් වලිනි. ඈ ලිංගිකත්වය මෙන්ම බැදීම් තුලත් , වෘතිය මෙන්ම ප්‍රේමය තුලත් සෙවුයේ එකී ස්ථිර අභිලාෂයකි , තෘප්තියකි. ඈ කෙමෙන් එකී ගවේශනය තුල පරිණත වත්ම ඈ එය සොයාගන්නීය. ස්ථිරභාවයට පත් වීම හා අභිලාෂයන් හඹා යාම යනු හුදෙක් වක්‍රාකාර ගතානුගතිකත්වයක් යැය් අවබෝධ කරගන්නීය. ඊට අනුගත වන්නීය.

✍️ හිරුෂ කසුන් 

Comments

Popular Posts