Tomka and His Friends ( 1977)
Tomka and His Friends ( 1977)
අල්බේනියානු සිනමාවෙහි සෞන්දර්යාත්මක සිනමා භාවිතාව සලකුණු කල ටොම්කා හා ඔහුගේ මිත්‍ර සගයෝ
අල්බේනියානු සිනමාව හැදින්වීමට උචිතම යෙදුම වනුයේ " ටිකය් හැබැයි හොදය් " යන්නය්. වසරකට චිත්‍රපට බොහොම අල්ප ප්‍රමාණයක් නිර්මාණය වුවද කලාත්මක සිනමාව සමග අතිශය සමීප සබදතාවක් අල්බේනියානු සිනමාකරුවෝ පවත්වා ගෙන යන්නෝය. 1977 නිර්මාණය වූ Tomka and His Friends යනුද අල්බේනියානු සිනමාව තුල බිහිවූ විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙස සැලකෙනුයේය. ඉන් නොනැවතී අල්බේනියානු සිනමාව ලොවට ගෙන ගිය ගෞරවාන්විත මෙන්ම සෞන්දර්යාත්මක සිනමා භාවිතාවක් ලෙසද Tomka and his Friends වර්ණනාවට ලක් කෙරේ.
Xhanfise Keko යනු අල්බේනියානු සිනමාව තුල ප්‍රබල සිනමා අධ්‍යක්ෂිකාවකි. එරට සිනමාව තුල ප්‍රබල කාන්තා සලකුණකි. අල්බේනියානු සිනමා කර්මාන්තය නවමු මානයකට යොමු කල ඈ සෞන්දර්යාත්මක මෙන්ම ස්වභාවික සිනමාකරණය ඇගේ සිනමා භාෂණයේ මූලික අංගයක් කොට ගත් අපූර්ව සිනමාකාරියෙකි. Tomka and his Friends යනුද ඇගේ එකී අපූර්ව සිනමාභාවිතය නම් හුයෙන් ගෙත්තම් කල සෞන්දර්යාත්මක නිර්මාණයකි. එක්තරා ආකාරයක අල්බේනියානු සිනමාවේ අග්‍රකෘතියකි.
Tomka හා ඔහුගේ යහලුවන් තිදෙනා ඇතුලු නගරයේ අනෙකුත් ළමා ලපටි ක්‍රීඩා කරන ක්‍රීඩා පිටියෙහි ජර්මානු හමුදාවන් කදවුරු බැද ගන්නේය. ජර්මානු හමුදාවන්ගේ අහිතකර බලපෑම් වලට ප්‍රතිරෝධයක් ආකාරයෙන් එකී නගරයේ වැඩිහිටි පිරිස පාටිසන් සෙබලු ලෙසින් ජර්මානුවන් නගරයෙන් ඉවත් කිරීමට සැලසුම් දියත්කරන්නේය. ටොම්කා හා ඔහුගේ මිතුරු කැළ විසින් ඒ උදෙසා ඔව්න්ගේ මට්ටමෙන් සිදුකරන කටයුතු මෙන්ම අව්‍යාජ ළමා හැසිරීම් Tomka and his Friends හී භාෂිත ප්‍රස්තූතයය්.
Xhanfise Keko කුඩා ළමුන් සමග මෙහිදී කරන්නා වූ ගණුදෙනුව අත්‍යන්තයෙන්ම අගය කල යුත්තකි. ළමා මනස, ළමා සිතුම් පැතුම් මෙන්ම අභිලාෂයන් ඈ ඉතා සියුම්ව ග්‍රහණය කරගන්නේය. යුධය ඔවුන්ගෙ සිතුවිලි පතුලටම කා වැදී ඇත. ඔව්න්ගේ භූමියට මෙන්ම නිදහසට එදිරිවාදී වූවන්ට එරෙහි විය යුතුය. , ඔව්න්ව පලවා හැරිය යුතුය යන සහජ වීරත්වයක් මෙන්ම උණුවන රුධිරයක් ඇත්තන් ලෙස මෙහිදී ටොම්කා හා ඔහුගේ මිතුරන් තිදෙනා හදුන්වා දී ඇත්තේය.
Keko කෙලිලොල් දගකාර නිර්ව්‍යාජ ළමා ක්‍රියාවන් සෞන්දර්යාත්මක මෙන්ම ස්වභාවිකව සිනමාව නගන්නේය . නරඹන්නාව ටොම්කා ඇතුලු ඔහුගේ මිත්‍රසගයන් සමග චිත්‍රපටය ඇරඹුමේ සිට අවසානය තෙක් ඒකාග්‍රව රදවා තබනුයේ එකී සෞන්දර්යාත්මක සිනමා භාෂිතයේ ප්‍රාතිහාර්යෙනි. ජර්මානු සෙබලුන්ගේ කෲරත්වය මෙන්ම ඔවුන් කුඩාකල සිටම ක්‍රීඩාකල පිටිය අහිමි වූ සොවින් පසුවන ටොම්කා හා ඔහුගේ සගයන් ඔව්න් අතරින් නායකයා මෙන්ම වැඩිමලා වූ ටොම්කාගේ මෙහෙයවීම මත ඔවුහු ජර්මානු කදවුර ඉදිරියේ නොබියව පාපන්දු ක්‍රීඩාවේ නිරත වෙති. පාටිසන් සෙබලු වෙනුවෙන් ඔත්තු බලති. කෙලිලොල් දගකාර ළමා මනස තුලින් වගකීම් සහගත භාවයේ සෙවනැලි මතුකිරීම Keko ගේ අරමුණ වී ඇති බව එහිදී අනුමාන කල හැක
චිත්‍රපටය පුරාවටම සිනෙමැටොග්‍රැෆි භාවිතාව මසුරං ය. ස්වභාවික අල්බේනියානු සුන්දරත්වය , පරිසරය හා මුහුව වැඩෙන්නා වූ කුඩා ළමුන් එහිදී අපූර්ව ලෙස ග්‍රහණය කරගන්නට සිනෙමැටොග්‍රැෆර් සමත්කම් දක්වන්නේය. එකම නාද රටාව විවිධාකාරයෙන් ඉදිරිපත් කොට චිත්‍රපටයෙහි භාවයන් අතිශය සියුම්ව සංගීතයෙන් දනවනු වස් අවකාශ යොදා තිබූ මෙහි සංගීත සංයෝජනයද ප්‍රශංසනීයය . එය මෙහි එක් සුවිශේෂී අනන්‍යතාවක් ලෙසද හැදින්වීම උචිතය.
අල්බේනියානු කළුසුදු සිනමාව තුල Tomka and his Friends යනු ප්‍රබල සිනමා සලකුණකි. හැත්තෑව දශකය තුල ලොව පුරා වර්ණ චිත්‍රපට නිර්මාණය කිරීමේ නැඹුරුතාව ප්‍රචලිතව තිබුණද හැත්තෑව දශකය තුල නිර්මාණය වූ අල්බේනියානු Tomka and his Friends කළුසුදු චිත්‍රපටයද හැත්තෑව දශකයෙහි නිර්මාණය වූ වර්ණ චිත්‍රපට වලට අභියෝග කල හැකි මට්ටමේ සෞන්දර්යාත්මක සිනමා භාෂණයකි.
🖊️ හිරුෂ කසුන්


Comments
Post a Comment