Pig ( 2021)
Pig ( 2021)
| අතුරුදන් වූ ඌරෙකු සමග වූ නිකලස් කේජ් ගේ පුනරාගමනය |
Michael Sarnoski ගේ Pig මා බොහෝ දුරට සෑහීමකට පත් කල සාර්ථක චිත්‍රපටයකි. Pig තුලින් ඔස්කාර් සම්මානලාභී නිකලස් කේජ් ඔහුගේ අසාර්ථක චිත්‍රපට රැල්ලට තිත තබනුයේ ඔහුගේ පෙර වූ රංගන විභූතිය Pig හී ආරෝපණය කරමිනි. මෙය අත්‍යන්තයෙන්ම කේජ් ගේ පුනරාගමනයය් කියමින් උදම් ඇනිය හැකි අයුරේ සාර්ථක සිනමා ව්‍යායාමයක් වනුයේ එහෙය්නි.
ගුණාත්මක සිනමානිර්මාණ කලියුගයක් ගත කල නිකලස් කේජ් මෙහි වෙනස්ම ආරක චරිතයක් ආරූඩ කරගනුයේය. පාලුව කාන්සිය මෙන්ම තනිකමට විසදුමක් ලෙස හුදකලාව වෙසෙමින් ඌරෙකු ඇතිකරන්නා වූ වයස්ගත මිනිසෙකි . ඔහු ගතකල මෙකී හුදකලා සැනසිලිදායක කාලයට නැවතීමේ තිත තබනුයේ එක් රැයක ඔහුගේ ඌරා සොරාගෙන යෑමත් සමගය.
චිත්‍රපටය ත්‍රාසජනක ශානරයට බරකොට තිබූ හෙය්න් බොහෝ පිරිසක් පෙරයීම් කරනු ලැබුවේ මෙය ක්‍රියාදාම දර්ශනයන්ගෙන් යුතු ත්‍රාසජනක චිත්‍රපටයක් වනු ඇති බවය. නමුත් මෙහිදී උද්වේගකර ක්‍රියාදාමයන් පිටුදකිමින් සිදුවීම හා චරිතයන් උදෙසා යම් දාර්ශනික කියවීමක් අන්තර්ගත කරනු වස් Sarnoski ප්‍රයත්න දරා තිබිණ .
ලෙයට ලෙයක් , ඇසට ඇසක් ලෙසින් වු සාම්ප්‍රදායික පලිගැනීමේ ක්‍රමවේදය මෙම චිත්‍රපටය බැහර කරන්නේය. ඒ වෙනුවෙන් වරදකරුවන්ට වරදෙහි බරපතල භාවය මෙන්ම කුරිරු භාවය අරබයා පසුතැවෙනු වස් අවකාශ ලබා දීම මෙහි පලිගැනීමේ ක්‍රමවේදය ලෙස Sarnoski අන්තර්ගත කරන්නේය. මෙහිදී ලේ සෙලවීමක් නැත. නිශ්චිත දුෂ්ඨයෙකු නැත. සියල්ලෝම සාධාරණීකරණය වනුයේය. චූදිතයා සිය අහිමි වීම දරාගනුයේය. වරදකරුවා වරදෙහි තැවෙන්නේය. පිග් හී මෙකී පලිගැනීමේ ක්‍රමවේදය හුදෙක් හැගීම් හා භාවයන් ඔස්සේ දිවෙන්නකි.
Pig හී චරිත සියල්ලන්ම අතිශය ගුප්තය. සියල්ලෝම ආත්මාර්ථය පරාර්ථය අතර දෝලනය වන ක්‍රියාවන් ඇත්තෝය. ඌරාගේ හිමිකරු තලතුනා හාදයා පරිණතය. හෙතෙම ඔහුගේ සියලුම දුක් කම්කටොලු තනිව දරාගන්නා අතර හැගීම්බරව ඔහු නිරතවන ක්‍රියාවන්ගෙන් කවරෙකුටවත් පසුතැවීමක් මෙන්ම ශෝකයක් අත්නොවිය යුතුය යන්න අරමුණු කරගත් දැඩි දරදඩු චරිතයකි. එකී චරිතය තුල ඇති සියුම් මානුශීය මනෝභාවයන් Pig හී දිගහැරීම නරඹන්නා නිරායාසයෙන්ම සංවේදී වීමට නිසැක කර්ණයකි.
නාට්‍යමය ශානරය සමගින් ත්‍රාසජනක ශානරය එක් වූ කල්හි තැනෙන නිර්මාණයන් බොහොමයක් අතිශය භාවාත්මකය. Pig හීද එය එසේය. Pig අරුමෝසමින් තොර හැගීම්බර ත්‍රාසජනක චිත්‍රපටයකි. එහෙය්න් නරඹන්නා ෆැන්ටසියක රැදවීම Pig හී අරමුණ නොවන අතර එය හුදෙක් නරඹන්නාගේ මනෝභාවයන් හා සිතුවිලි සමග සිදුකරන්නා වී අතිශය හැගීම්බර ගණුදෙනුවකි
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment