Loveless ( 2017)







Loveless ( 2019)

| අශ්වයා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා බම්බු ගහන්නද ? |

විවාහය හා දික්කසාදය කිසිලෙසකින් එකම කාසියෙහි දෙපැත්තක් නොවීමට ප්‍රබල හේතු කිහිපයක්ම ඇත. ඉන් ප්‍රබලම හේතුව වනුයේ විවාහයක් දික්කසාද වීමෙන් අගතියට පත් වන්නන්ගේ වගකීම කවරෙකු ගනීද යන්නය්. බොහෝ විට දික්කසාදයකදී අගතියට පත් වනුයේ දරුවන්ය. දරුවන් හේතුවෙන් නොගැලපෙන විවාහයන් අපහසුවෙන් ගලපා ගන්නා විවාහකයෝ අප බොහෝ දැක ඇත්තෙමු. නමුත් නොගැලපෙන විවාහයන් හීදී හුදෙක් දරුවන් නිසාවෙන්වත් විවාහය නොගලපා ගත්තෝ දරුවන්ට උන්ටත් වඩා ලොකු උභතෝකෝටික ගැටලුවක් ඔලුවට පටවා දික්කසාද වෙති. ගැලපෙන්නෝ සොයා යති. දරුවෝ හිස හැරුණු හැරුණු අත යති. රුසියානු චිත්‍රපටයක් වූ Loveless හීද වනුයේ එවැන්නකි.

ශෙන්යා හා බෝරිස් ඔව්න්ගේ විවාහයේ අවසාන සමය ගත කරන රුසියානු තරුණ යුවලකි. ඔව්න්ට එක් පිරිමි දරුවෙකු සිටින අතර ඔව්හූ නිතර කලහෝලාහල කරමින් දික්කසාදයට පිඹුරුපත් සකසති. සියල්ලෙන් පීඩිත ඔව්න්ගේ දරුවා කාලය ගත කරනුයේ හැඩූ කදුලිනි. ශෙන්යා ධනපති මැදිවයස් ව්‍යාපාරිකයෙකු සමග අනියම් සබදතාවක් පවත් වාගෙන යන අතර ඈ බෝරිස්ගෙන් දික්කසාද වනුයේ ඔහු හා විවාහ වීමටය. බෝරිස්ද මාෂා නම් කාන්තාවක් සමග අනියම් සබදතාවක් පවත්වාගෙන යන අතර ඈද ගැඹිණියකි. මේ සියල්ලම අතරේ දිනක් ශෙන්යාගේ හා බෝරිස්ගේ පිරිමි දරුවා අතුරුදන් වෙය්.

චිත්‍රපටයෙහි සියලු චරිත පඹගාලකි. ගත කරනුයේ කෘතීම කාලකණ්නි ජීවිතයන්ය. සබදතා සියල්ලම ව්‍යාජය. බෝරිස් අතින් ඔහුගේ අනියම් බිරිය වූ මාෂා ගැබ් ගත්තද හේ කෙදිනකවත් ඈට ඔහුගේ පෙර විවාහය පිළිබඳව වැඩියමක් නොකියන්නේය. බෝරිස් හට පෙර විවාහයෙන් පුත්‍රයකු සිටින බව මාෂා හාන්කවිසියක් නොදන්නේය. ශේන්යාගේ අනියම් සබදතාවෙහිද තත්වය එයය. ලිංගිකත්වය , අරුමෝසම් ජීවිත වලින් තොරව වෙනත් යමක් බෝරිස්ගේ හා ශෙන්යාගේ හිස් ගෙඩි ඇතුලේ වැඩ නොකරන්නේය. තත්වය එසේ වූ කල පුත්‍රයා අතුරුදන් වීම මහා අරුමයක් ලෙස ගිනිය හැක්කේ කෙසේද

අධ්‍යක්ෂක ඇන්ඩ්‍රි මෙම විකාර ජීවිත සිනමාපටය තුල දැඩි විවේචනයට ලක් කරනුයේය. දරුවා අතුරුදන් වූ කල ශෙන්යා ගා බෝරිස්ගේ කලබල වීම හා කදුලු හුදෙක් කිඹුල් කදුලු බව සිතීමට නරඹන්නා පෙළඹවීමට තරම් එම විවේචනය ප්‍රබලය. සිය දරුවා යන එන තැනක් හෝ කන බොන දෙයක් පිළිබදවත් කිසිදු හාවක් හූවක් නොදන්න ශෙන්යා හා බෝරිස් දරුවා අතුරුදන් වූ පසු පෙන්වන දරු දුකද ව්‍යාජ ශෝකයක් යැය් පෙරයීම් කරනු වස් නරඹන්නා නිරායාසයෙන්ම පෙළඹෙන්නේය. මෙහිදී ආත්මාර්ථකාමී විවාහකයන් කුටුම්භික සබදතා , විශේෂයෙන් සිය දාරකයන් කෙරෙහි දක්වන්නා වූ කුඩඅම්මාගේ සැලකිල්ල සමස්ත සමාජයක් කෙරෙහි එල්ල කරන්නා වූ අනාරක්ෂිත භාවය පිළිබඳව අධ්‍යක්ෂක ඇන්ඩි අනතුරු හගවන්නේය.

චිත්‍රපටය පුරාවටම අතුරුදන් වූ පුත්‍රයා පිළිබඳව දැනවෙනුයේ අනුකම්පාවකි. ඔහු ආගිය අතක් නැත. දෙමාපියන්ගෙන් ඔහුට ලැබුණු ආදරයක් සෙනහසක් හෝ ආරක්ෂාවක්ද නැත. කොලු ගැටයා අන්ත අසරණය. දෙමාපියන්ගේ අවධානය ගැනීම බීරි අලින්ට වීනා වැයීමක් වැනිය. හිස හැරුනු දිහාක යෑම හැර ඔහුටද කල හැකි යමක් නොතිබෙන්නට ඇත. දික්කසාද වීමට පළමුව දරුවා ගෙන සිතා නොහැඩූ ශෙන්යා හා බෝරිස් දරුවා අතුරුදන් වූ පසු හඩන්නේය. වැලපෙන්නේය. එවිට ඔව්හු ප්‍රමාද වී හමාරය . අශ්වයා පැනගොසිනි. ඉස්තාලය වසා හෝ අශ්වයා ගෙන දුක් වී එවිට කල හැකි කෙංගෙඩියක් නැත. 

                                    🖊️ හිරුෂ කසුන්

Comments

Popular Posts