Late Spring ( 1949)









Late Spring ( 1949)

| නොරිකෝ ත්‍රිත්වයේ ඇරඹුම ආලේඛ්‍ය කල යසුජිරෝගෙ ඔසු තුමාගේ පමාවූ වසන්තය |

සිනමාව නම් අසහාය විශයපථය තුල මානවවාදී සිනමා පෞරුෂයක් පෙන්වා දෙන්න යැය් යමෙකු මට කිවූ කල්හී මම නිරායාසයෙන්ම යසුජිරෝ ඔසු මහතා දෙසට මගෙ දඹරගිල්ල දිගුකරන්නෙමි. එතුමා හුදෙක් මානවවාදී සිනමාකරුවෙකු නොව අසහාය භාවමය කෘතහස්ත සිනමා පෞරුෂයක් බව එතුමන්ගේ සිනමාව පරිශීලනය කරන්නන් හට නොරහසක් මෙන්ම ප්‍රත්‍යක්ෂයකි. යසුජිරෝගෙ කෘතහස්ත සිනමා භාවිතාවට නිදසුන් සපයන්නෝ අත්‍යන්තයෙන්ම සදහන් කරන්නක් වනුවේ එතුමන්ගේ නොරිකෝ ත්‍රිත්වයය්. ජපාන සිනමාව තුල යථාර්තවාදි සිනමා භාවිතාවේ අග්‍ර කෘතියක් ලෙස නම් කරන යසුජිරෝගෙ ටෝකියෝ ස්ටෝරි මෙම නොරිකෝ ත්‍රිත්වයේ තෙවැන්නය

නොරිකෝ ත්‍රිත්වයේ ඇරඹුම යසුජිරෝ විසින් 1949 දී සනිටුහන් කරනුයේ මා උදෘත මාතෘකාවෙහි සදහන් කල Late Spring හරහාය . ඉන් පසුව 1951 දී Early Summer ද , 1953 දී Tokyo Story ද හරහා මෙකී ත්‍රිත්වය දිගහැරිණ මෙය අප ත්‍රිත්වයක් යැය් හැදුන්වුවද මෙය කිසිලෙසකින්වත් තුන්ඈදුතු චිත්‍රපට නොවේ. නොරිකෝ ත්‍රිත්වය එසේ හදුන්වනුයේ චිත්‍රපට ත්‍රිත්වයම දෙවන ලෝක යුධයෙන් පසු ජපානයේ මධ්‍යමපාන්තික නොරිකෝ නම් කාන්තා චරිතයක් වටා නිර්මාණය වී තිබීම කර්ණයෙනි. චිත්‍රපට ත්‍රිත්වයෙහිම නොරිකෝ ලෙස සෙට්සුකෝ හරා රංගනයෙන් එකතු වෙය්.

Late Spring හී යසුජිරෝ නරඹන්නා භාවාත්මක සිනමා ආත්මීයකරණයකට ගෙන යනුවේ සිය බිරිදගේ අකල් වියෝවෙන් පසු කුටුම්භය තුල සිය සත් හැවිරිදි දියණිය සමග ඈට වයස විසි හතක් පමණ වනතුරු තනිව විසූ ශුකිචුගේ කුටුම්භය හරහාය. දියණිය සමග ඇති ඔහුගේ පීතෲ වගකීම් භාරයෙන් ඈ විවාහකොට දීමෙන් නිදහස්ව විශ්‍රාමික දිවිය ගත කිරීම ශුකිචුගේ අරමුණය්.

කුටුම්භය තුල දියණිය හා පියා විශයෙහි ඇති සෙනහසේ සබදතාව යසුජිරෝ විසින් මෙහිදී භාවාත්මකවත් සියුම්වත් සිනමාත්මකව ආලේඛ්‍ය කරනුයේය. ඔහුගේ සිනමා භාවිතාව කාව්‍යමයය. සංවාද චිත්‍රපටයෙහි නාට්‍යමය භාවය ත්‍රීව්‍ර කරවන අතර සංවාද සියල්ල කාව්‍යමය මෙන්ම අර්ථාන්විත භාවයෙන් ප්‍රබලය.

හණමිටි අදහස් ඇති සාම්ප්‍රදායික සුන්දර ජපන් තරුණියක් වන නොරිකෝ නිරන්තරයෙන් විවාහය ප්‍රතික්ෂේප කරනුයේය. පියා සමග පියාට ඇපඋපස්ථාන කරමින් වෙසීම ඇගේ සතුට බවත් ඈ නැති වූ කල පියාට ඇපඋපස්ථාන කරනු වස් කවරෙකුවත් නොමැති වන බවත් ඉන් පියා ගැටලු රැසකට මුහුණපානු ඇති බවත් පවසමින් ඈ විවාහයට හරස් කපනුයේය. ආසියානු සමාජය තුල කුටුම්භික සබදතාවන්හී ප්‍රබලත්වය මෙන්ම ප්‍රාථමික මෙන්ම සවිමත්ම සමාජ මට්ටමක් ලෙසින් කුටුම්භික සබදතාවන්හී ඇති ස්නේහයේ හැගීම් සමග වූ ගණුදෙනුවෙහි ගතිකත්වය Late Spring හී භාෂණයෙන් ප්‍රකට වන අතුරු කරුණකි.

නොරිකෝ විවෘත තරුණියකි. නිර්ව්‍යාජය. කෙලිලොල්ය. සැහැල්ලුවෙන් දිවි ගෙවන්නියකි. ඈ සමාජය සමග ගැටීම ප්‍රතික්ෂේප කරන අතර පියා සමග ජීවත් වීම ඈට සැහැල්ලුවක් මෙන්ම ප්‍රීතියකි. එය ඈට මහත් වූ වගකීමක් කොට සලකනුයේය . විවාහය පිළිබඳව ඇගේ අවධානය එකී වගකීම කර්ණයෙන් අල්ප වන්නේය. විවාහපත් නොවී ඈගතකරන්නා වූ හුදකලා ජීවිතය නිසාවෙන් , විවාහය පිළිබඳව ඇගේ නැන්දනියගෙන් පැමිණෙන පීඩනය ඈ මානසිකව පෙලන්නේය. ඇගේ එකී චිත්තවේගී හැසිරීම්ද මෙහිදී යසුජිරෝ නාඩියට අල්ලා ගනුයේය. ඇගේ මිතුරියන් සියල්ලන් විවාහකය , සමහරුන් මාපියන්ය, සමහරුන් පළමු විවාහයෙන් වෙන්ව දෙවෙනි විවාහයක් බලාපොරොත්තුවෙන් වෙසෙති. යසුජිරෝ ජපාන සමාජය සාම්ප්‍රදායික බැමි බිදදා නව්‍ය සමාජක්‍රමයකට සීමාතරණය කර ඇති බවට චිත්‍රපටය තුල ඉගි සපයනුයේ එවැනි අතුරුකතා කතාන්දරය තුල අන්තර්ගත කරමිනි.

Late Spring හී යසුජිරෝගෙ සෞන්දර්යාත්මක සිනමා ප්‍රවේශය අපූර්ව දැහැනකි. සිනෙමැටොග්‍රැෆි හා ජපාන සාම්ප්‍රදායික සංගීතය මෙන්ම සංස්කෘතිකාංග එකී දැහැනෙන් නරඹන්නා මුදානොහලන්නේය. මෙකී කර්ණයෙන් නරඹන්නා නිරායාසයෙන්ම Late Spring ආත්මීය කරගනුයේය. නොරිකෝ හා ඇගේ පියා සමග නරඹන්නාගේ භාවයන් අත්‍යන්තයෙන්ම සමපාත වනුයේය. යසුජිරෝගෙ සිනමාවෙහි අපූර්වත්වය වනුයේ එකී ස්වභාවයන්ය. නරඹන්නා අපූර්ව සෞන්දර්වාදියෙකු අයුරින් දැහැන්ගත කරවන භාවමය කාව්‍යමය ශ්‍රව්‍ය දෘෂ්‍ය පෙළහරය

                  🖊️ හිරුෂ කසුන්

Comments

Popular Posts