Early Summer ( 1951)
Early Summer ( 1951)
| නූතනවාදය තුල සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට සිදුවන ආකල්පමය විපර්‍යාස. |
පශ්චාත් යුධසමයෙහි ජපානයේ සංස්කෘතිකමය විපර්‍යාසයන් , මෙන්ම කුටුම්භයන් තුල පරිවාරයෙහි එකිනෙකාගේ තීන්දු තීරණයන් මෙන්ම භාවයන් සමග ගැටෙන්නා වූ පරම්පරා අතර එකිනෙකට වෙනස් වූ විපර්‍යාසයන් හා කාන්තා ස්වාධීනත්වය ආදී භාෂිතයන් යසුජිරෝගෙ Early Summer නැතහොත් නොරිකෝ ත්‍රිත්වයෙහි දෙවැන්නෙහි සලකා බැලේ.
Late Spring හා Tokyo Story හීදී මෙන්ම මෙහිදීද යසුජිරෝ කතාන්දරය රැගෙන යනුයේ නොරිකෝ නම් මධ්‍යමපාන්තියක අවිවාහක තරුණියකගේ කුටුම්භයකටය. නොරිකෝ ටෝකියෝහී වෙසෙනුයේ ඇගේ මාපියන් , සහෝදරයා හා සහෝදරයාගේ බිරිදත් , දරුවන් දෙදෙනත් සමගය. සහෝදරයා කාර්‍යබහුලය. මාපියන් වයස්ගත හෙය්න් නිවසේම රැදී සිටිති. සහෝදරයාගේ බිරිද ප්‍රීතිමත් යුගදිවියක් ගත කරන අතර නිවසෙහි කටයුතු වලට මුල් තැන දුන් ගෘහණියකි.
නොරිකෝ රැකියාවක නියුතු සැමවිටම ස්වාධීනත්වය අගය කරන්නා වූ තරුණියකි. ඈ මිතුරියන් සමග කෙලිදෙලෙන් මෙන්ම සැහැල්ලුවෙන් කල් ගතකරන අතර බෙහෙවින් සමාජශීලී ය. විවාහය පිළිබඳ ඇගේ ඇත්තෙ උදාසීන ආකල්පයන්ය. මේ හේතුවෙන් හිතවතුන් හා මිතුරියන් සමග නිරන්තරයෙන් ආරවුල් ඇති වීමත් ඔවුන්ගේ පෙරැත්තත් මත ඈ කෙමෙන් විවාහය පිළිබඳව සිතන්නීය.
අප දන්නා කරුණක් වනුයේ පශ්චාත් යුධසමයෙහි ජපානයෙහි වතගොත සිනමාත්මකව ඉදිරිපත් කිරීමේදී යසුජිරෝ විසින් සෘජුව ඒ පිළිබඳව කරුණු දැක්වීමක් නොකරන බවය්. සංවාදයන් මෙන්ම චරිතයන්හී සිතුම් පැතුම් හා ක්‍රියාකලාපයන් තුලින් ඒ පිළිබඳව ඉගි දීම යසුජිරෝගෙ ක්‍රමයය්. යසුජිරෝගෙ බොහෝ චිත්‍රපටයන්හි සර්වකාලීන භාවයට නිසැක කර්ණය වන්නේ එයය්.
මෙහිදීද ජපානයේ සංස්කෘතික විපර්‍යාසයන් හා කුටුම්භයන් තුල මතගැටෙන්නා වූ පරම්පරා අතර සිදුව වෙනස්කම් හෙතෙම සිනමාවට ගෙන එනුයේ ඒ අයුරිනි. කාන්තා ස්වාධීනත්වය මෙන්ම තීන්දු තීරණ ගැනීමේ නිදහස කාන්තාවට ලැබී ඇත. විවාහයන් පිළිබඳව සාම්ප්‍රදායික සිතුවිලි වෙනස්ව ඇත. නොරිකෝ ඇගේ විවාහය පිළිබඳව ගන්නා එක් තීරණයකදී මේ කරුණ යසුජිරෝ චරිත තුලින් එලියට ඇද දමන්නේය. ඉන් විවාහය පිළිබඳව ඇගේ දෙමාපියන්ගේ හා ඇගේ සහෝදරයාගේ මතිමතාන්තර වලට හාස්පසින්ම වෙනස් මතයක නොරිකෝ සිටින්නීය. විවාහය යන භාෂිතය පරම්පරා තුනක සිතුවිලි අතරින් ප්‍රේරණය වන්නේය. සාම්ප්‍රදායික විවාහ ප්‍රතිපත්ති පසෙකලා නූතන ස්වාධීන චින්තනවාදය තුල විවාහය පිළිබඳව ඇති මතය එලි දකින්නේය.
නොරිකෝ නූතන කාන්තාවක් ලෙස චිත්‍රපටයෙහි ඉදිරිපත් කර තිබීම තුලින් කාන්තාව මෙකී නූතනවාදය තුල සංස්කෘතිකමය ආකල්පමය වලින් පරිබාහිරව ස්වාධීන තීන්දු තීරණ වලට එළෙබෙන අයුරු ඉදිරිපත් කිරීම යසුජිරෝගේ අරමුණ වී ඇත. ඈ පුරුෂ ආරක්ෂාවකින් හෝ රැකවරණයෙකින් තොරව තමා වෙනුවෙන් හරිහම්බ කරන අතර යම් ආත්මාර්ථකාමී සෙවනැල්ලක් ඈ තුල ඇත. ඈ සෙස්සන්ට කොන්දේසි පනවන අතර ඇගේ ස්වාධීනත්වය නිතරම අගය කරන්නීය. ඇගේ තීරණයන් උදෙසා සෙස්සන්ට බලපෑම් කල නොහැකි තරමට ඇගේ තීන්දු දැඩිය. සෙස්සෝද හුදෙක් ඒ පිළිබඳ තර්කයෙන් නවතිය්. ඇගේ ස්වාධීනත්වයට අභියෝග කිරීමක් චිත්‍රපටය තුල දකින්නට නැති වීම මා මෙහි සමාජමය තත්වය තුල එක්තරා සුභවාදී කාරණාවක් ලෙස දකින්නෙමි
Early Summer අත්‍යන්තයෙන්ම සෞන්දර්යාත්මක මෙන්ම සර්වකාලීන සම්භාව්‍ය චිත්‍රපටයකි. යසුජිරෝගෙ භාවමය දැහැන්ගත සිනමාකරණය තුලින් ඉහත භාෂිතයන්ට අමතරව මෙහි යම් දර්ශනවාදී ආකල්පයන් ගෙන ඒමක්ද සිදුවේ.ජීවිතයේ සතුටුදායක සමග ක්ෂණයෙන් නශ්‍ය වන බවත් වර්තමානය තුල ජීවත් වීමත් වර්තමානය හා වර්තමානය තුල සිදුවන දෑ වඩා වැදගත් බවත් Early Summer හීදී පසක් වන්නකි.
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment