Changeling ( 2008)







Changeling ( 2008)

| පොලීසිය හැමෝටම කොකා පෙන්නලා මාරු වෙන්න ට්‍රය් කරපු ක්‍රිස්ටීන් කොලින්ගේ අතුරුදන් වූ පුත්‍රයාගේ සිදුවීම |


ඇන්ජලීනා ජොලී හට ඔස්කාර් නාමයෝජනාවක් උපයා දුන් ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ Changeling මහත් හැගීම්බර මෙන්ම සංවේදජනක චිත්‍රපටයකි. සත්‍ය කතාවක් පාදක කරගත්තක් වන මෙය නැරඹීම නරඹන්නාට තාවකාලික විශාදීය තත්වයක් අත්කර දීමට තරම් Changeling ප්‍රබලය. එය එතරම්ම සංවේදජනකය. අමානුශිකය . හැගීම්බරය. නරඹන්නාට හතර පස් වරක් දෙඇස් හී කදුලු පිසීමට ඉඩ හසර සලසා දෙන තරම්ම ඛේදජනකය.

ක්‍රිස්ටීන් කොලින්ස් හුදකලා වූ එක්දරු මවකි. ඈ ඔහුගේ පුතු වූ නවහැවරිදි වෝල්ටර් කොලින්ස් සමග වෙසෙන්නීය. එක් ශනිදාවක ඈ ඇගේ පුතු සමග කාලය ගතකිරීමටත් ඔහු සමග චිත්‍රපටයක් නැරඹීමට යෑමටත් ගිවිසගන්නීය. නමුත් ඛේදය ඊට හරස් කපන්නේය . එදින ඈට හදිසි කාරණාවක් හේතුවෙන් රැකියාවට යෑමට සිදුවන අතර ඈ නිවසට පෙරලා පැමිණිවිට පුත් වෝල්ටර් අතුරුදන්ව ඇත.

මෙකල්හී ඈ සෑම මවකම මෙන් මහත් ලෙස කලබලයට පත්වන්නීය. සෑම තැනකම පුතු සොයන්නීය. පොලිස් නිලධාරීන්ට පින්සේන්ඩු වන්නීය. මෙය දාරක විප්පයෝගයෙන් දුකට පැමිණි අසරණ මවකගේ ශෝකාලාපී මෙන්ම ධෛර්යයේ කතාවක් වන්නේ එලෙසය.

නමුත් ඊස්ට්වුඩ් මෙම සත්‍ය කතාව ඉදිරිපත් කිරීමේදී හුදෙක් මවකගේ ශෝකාලාපයකට පමණක් කතාන්දරය ලඝු කරනු වස් උත්සුක නොවන්නේය. බොහෝ විට අප දකිනුයේ සත්‍ය කතා රේඛීයව ගලා යන අයුරුය. නමුත් Changeling හීදී නීතිය , පොලිසියෙහි අකාර්යක්ෂමතාව මෙන්ම වගකීම් විරහිත භාවය , නිලධාරීන්ගේ අත්තනෝමතික භාවය , කාන්තාව පිළිබඳව නිලධාරීන් යොමු කරන්නා වූ අල්ප අවධානය මෙන්ම ඔවුන්ව මර්ධනය කරනු වස් එළෙබෙන පීඩාකාරී තීන්දු තීරණ හා මරණය ආදී මෙකී සත්‍ය කතාව වටා වූ විශය පථයන් රැසක් ඊස්ට්වුඩ් සාර්ථකව සිනමාරූපීවත් සම්භාව්‍ය ලෙසත් ඉදිරිපත් කරන්නේය.

Changeling හී මාතෲත්වය හැරුණු විට සෙසු භාෂිතයන් උදෙසා ඊස්ට්වුඩ් ලබා දෙනුයේ විවේචනාත්මක ස්පර්ශයකි. නිලධාරීන්ගේ අත්තනෝමතික භාවය හා හාස්‍යජනක මෙන්ම ජුගුප්සාජනක පොලිසියෙහි නිර්ලජ්ජිත ක්‍රියාකලාපය Changeling හීදී ඉතාමත් සියුම් ලෙස විවේචනයට ඊස්ට්වුඩ් අතින් විවේචනයට ලක් වනුයේය. එය විටක නරඹන්නාට හාස්‍යකි. මම පොර තියරියෙහි එල්බ සිටින්නා වූ පොලිස් නිලධාරීහූ වරදක් වසා ගනු වස් වරදවල් රැසක් කරති. එක් බොරුවක් වසනු වස් බොරු රැසක් කියති. එවන් අවස්ථාවකදී කලයුත්ත හැරෙන්නට සෙසු සියලු කැටයම් දමති. හුදෙක් පුහු පුවත්පත් හා ගුවන්විදුලි මාධ්‍යන්හී අවධානය ලබා ගනු වස් පමණක් කරන්නන්වාලේ රාජකාරි කරති. පැමිණිලි එක තැනය. චූදිතයෝ වලපල්ලේය.

කාන්තාව නීතිය හා නිලධාරිවාදය තුල අන්ත අසරණ වන අයුරු මෙහිදී ඊස්ට්වුඩ්ගේ විවේචනයට ලක්වන අනිත් කරුණය. ස්ත්‍රීත්වය යන භාෂිතයට වඩා මාතෲත්වය යන භාෂිතයට වැඩි අවධානයක් දෙන ඊස්ට්වුඩ් ඉන් කතාන්දරයෙහි හැගීම්බර මෙන්ම ශෝකී ඛේදිත ස්වභාවය උද්දීපනයට වැඩි වපසරියක් ලබා ගන්නා අතර ඉන් ඊස්ට්වුඩ් විසින් මෙකී සිද්ධියෙහි විවේචනයට ලක් විය යුතු අංග විවේචනය උදෙසාද යම් තල්ලුවක් ලබා ගනුයේය. ඉන් මෙවැනි සාපරාධී පැමිණිල්ලකදී මෙන්ම සිදුවීමකදී අවධානය ලැබිය යුතු අංශ බොහොමයකට ඊස්ට්වුඩ්ගෙ අවධානය සමානුපාතිකව ලැබෙනුයේය. චිත්‍රපටයහි විශිෂ්ඨත්වයට කර්ණය වනුයේ එයය.

ජීවිතය හා මරණය යන දෙඅංශයද සුපුරුදු පරිදි මෙහිදීද ඊස්ට්වුඩ්ගෙ විග්‍රහයට ලක්වනුයේය. මෙහි ජීවත්වන්නෝ බලාපොරොත්තු මතින් ජීවත් වෙති. ඒ වෙනුවෙන් සටන් වදිති. කැපවෙති. මිය යන්නෝ සමහරක් මියෙන්නේ කිමදැය් හෝ නොදැන සාපරාධීන් අතින් අමානුශිකව මැරෙති . සෙස්සෝ පසුතැවීමෙන්ම මරණය වැලදගනිති. හුදෙක් පාපොච්චාරණයෙන් පමණක් මිදිය නොහැකි පාපයන්ගෙන් මෙන්ම සාපරාධී ක්‍රියාවන් ශේෂ කලා වූ මතකයන්ගෙන් මිරිකී මරණ බියෙන් වෙව්ලා පෝරකය තුල මරණීය හුස්ම හෙලති.

                      🖊️ හිරුෂ කසුන්

Comments

Popular Posts