The Mauritanian ( 2021)









The Mauritanian ( 2020)

      | Guantanamo Bay නරාවලේ සිය තාරුණ්‍ය දිය කල මවුරිටේනියානුවාගේ දිනපොත

නීතියෙහි යුක්තිය යනු එහි සාධාරණත්වයය්. නිවරදි වූවෙක්ට එකී යුක්තිය සාධාරණත්වය පාලානාධිකාරියේ හෝ බල අරගලයේ අන්‍යාය ඉදිරියේ අහිමි වූ කල ඔව්හු එය නීතියෙහි යුක්තිය ප්‍රශ්න කරනු හැර අන්කවරක් කරනුද ?. කිනම් හෝ පාලානාධිකාරියක විසින් කිසි කලක ඔව්න් අතින් වූ අතපසුවීම් හා අසාධාරණත්වය පිලිබදව ආපසු  තැකීමක් කරනු අප දැක නැත. යුක්තිය , සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳව සිංහ හමක් ලොව ඉදිරියෙහි පොරවා සිටින්නා වූ ඇමරිකානු පාලානාධිකාරියටද එය පොදු බව The Mauritanian වැනි සත්‍ය සිදුවීම් පාදක වූ චිත්‍රපට නැරඹීමේදී නැවත නැවතත් පසක් වන්නකි.

2001 සැප්තැම්බර් 11 වනදා ඇමරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය එහි සිවිල් වැසියන් දහස් ගානක ජීවිතයන් හට නැවතීමේ තිත තබන්නේය. මින් වියරු වූ ඇමරිකානු පාලනාධිකාරිය එකී ත්‍රස්තප්‍රහාරයේ අගමුල සොයමින් ඔව්න් හට සැක කල හැකි සියලුම තැනත්තන් කිසිදු වගවිභාගයකින් තොරව අත්අඩංගුවට පත්කරගන්නා අතර ඔව්න්ව කිසිදු චෝදනාවකින් තොරව සිර කොට වද වේදනා ඇතුලු දරදඩු කටුක දඩුවම් දෙමින් චූදිතයන් යය් සැක කලවූවන්ගෙන් සත්‍ය වමාරා ගැනීමේ දරදඩු කුරිරු ප්‍රයත්නයක් දරන්නේය. 

මොහමඩූ අල් සලාහිද එසේ අත්අඩංගුවට පත් වූ චූදිතයෙක් යැය් සැක කල නමුත් නිවරදිකරුවෙකි. හෙතෙම තරුණ උගත් ඉස්ලාමීය මවුරිටේනියන් වැසියෙකි. Guantanamo Bay ඇමරිකානු වදකාගාරයෙහි කෲර වදහිසා , ප්‍රශ්න කිරීම් වලට ලක්වෙමින් වසර දාහතරක් කිසිදු චෝදනාවකින් තොරව ඇමරිකානු  පාලනාධිකාරියේහි අත්තනෝමතික භාවයට නිරපරාදේ වන්දි ගෙවන්නටත් ඔහුගේ තරුණ කාලය Guantanamo වදකාගාරයෙහි දියකර දමන්නටත් මොහොමඩූ සලාහිට සිදුවනුයේය. ඇමරිකානු නීතිවේදිනී Nancy Hollander විසින් මෙකී නිර්දෝශී යුධ සිරකරුවා හට යුක්තිය ඉටු කරනුවස් තැත්කරනුයේ මේ අතරවාරයේදීය . 

නැන්සිගේ ඉල්ලීම පරිදි මොහමඩූ විසින් ලියා පල කරන්නා වූ ඔහු Guantanamo හී ගතකල කටුක දිවියේ විස්තර ඇතුලත් Guantanamo Diary  නම් ඔහුගේ ස්වයං චරිතාපදානය මත මෙම චිත්‍රපටයෙහි තිරපිටපත පදනම්ව ඇත.

පැමිණිල්ල හා විත්තිය යන උභය කාරණා තුල දෝලනය වෙමින් නරඹන්නා තුල සලාහිගෙ නිර්දෝශී භාවය අරබයා යම් උභතෝකෝටිකයක් මතුකරනු වස් මෙහි තිරරචනය ප්‍රබලය. විටක පැමිණිල්ලෙහි සලාහි වරදකරුවෙකිය් යන්න කරුණු සපයන අතර පසුව විත්තිය තුල සලාහි නිවරදිකරුවෙකු වන අතර ඔහුට එරෙහිව ඇත්තේ පදනම් විරහිත , සාක්ෂ්‍ය නොමැති නිරර්ථක චෝදනාවන් බවට කරුණු සපයන්නේය.

Mauritanian සැබවින්ම සංවේදී නිර්මාණයකි.  එසේම කිසි කලක චේතානාවෙන් හෝ නොකල වරදක් පාපොච්චාරණය කරවනු වස් කාය්කවත්  මානසිකවත් මොහොමඩූ හට වද වේදනා සපයන අලුගෝසු පරීක්ෂණ නිලධාරීන්ගේ මනුශ්‍යත්වය Guantanamo හීදී ප්‍රශ්නාර්ථයක් වන අයුරු ඇතිකරනුයේ ජුගුප්සාජනක හැගීමකි. චිත්‍රපටය තුල ප්‍රධාන වශයෙන් දිගහැරෙන්නා වූ  තමාට ඇමරිකානු වදකාගාරය තුල අහිමි වූ යුක්තිය , සාධාරණත්වය සිය දෙවියන්ගෙන් අයදින්නා වූ මොහොමඩු Guantanamo හී ගත කල කටුක දිවිය නරඹන්නා සංවේදී කිරීමට සමර්ථ අතර එය උපරිම මට්ටමට විත් දෙනෙත් කදුලින් පිරවීමට සමත් වනුයේ චිත්‍රපටයෙහි අවසන් අඩහෝරාවේදීය .

පාලනාධිකාරියේ අසමත්වීම් සගවා ගනු වස් නිරර්ථක චෝදනාවන් ඔස්සේ හිතුමතයට සිරගත කරමින් මානසිකවත් , කාය්කවත් වද වේදනාවන් පමුණුවමින් යුධ සිරකරුවන් උදෙසා අත්තනෝමතිකව ක්‍රියා කරන්නා වූ ඇමරිකානු පාලනය ලොවට පෙන්වන යුක්තිය සාධාරණත්වය  හා මානව හිමිකම් උදෙසා  පොරවා සිටින්නා වූ සිංහ හම සැබවින්ම  බැටලු හමක් යැය් Mauritanian නරඹන කිනම් පුද්ගලයෙකුට හෝ පසක් වන්නකි

                                    🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts