The Birds ( 1963)









The Birds ( 1963)

| හිට්ච්කොක් සීරුවට සිනමාවට ගෙන ආ පක්ෂි අදෝනාව |

කාර්මික විප්ලවයත් සමගින් යමෙකු පවසන්නට යෙදෙනුයේ මිනිසුන්ගේ ආර්ථික නිදහස තහවුරු වූ බවය. එහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීම පසුවට අප කල් දමමු. එතෙක් මිනිසුන්ගේ ආර්ථික නිදහස තහවුරු වූ කල්හි ජීවත් වීමේ නිදහසට කනකොකා හැඩූ ප්‍රාණීන් කොටසකට අප අවධානය දෙමු. සිනමාකරු ඇල්ෆ්‍රඩ් හිට්ච්කොක් විසින් The Birds හී භාෂණය කරනුයේ එකී ජීවත් වීමේ නිදහසට උලමා හැඩූ හඩක් නැගිය නොහැකි මුත් හඩක් නැගිය යුතු හෙය්න් හඩක් නැගූ ප්‍රාණීන් වූ පක්ෂි සමූහයාගේ ජීවන අදෝනාවය්

මනුශ්‍ය අත්තනෝමතික භාවය හෝ ස්වභාවධර්මයාට සමපාත නොවීමේ කර්ණයෙන් පක්ෂි සමූහයා පීඩිතය. සමහර වර්ගයා කාලානුරූපීව අභාවයට යන අතර සෙසු පක්ෂි වර්ගයන් ගේ ජෛවීය උවමනා එපාකම් සපුරා ගැනීමේ අර්බුදයකට මුහුණ පා ඇත්තෝය. කාර්මික විප්ලවයේ විකාශනය සමගින්ම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වාසස්ථාන මෙන්ම , සෙසු සුපුරුදු ක්‍රියාකාරකම් වලට හානි වූ පක්ෂි සමූහයා ඔවුන්ගේ හිමිකම් උදෙසා අරගල කරන්නා වූ තත්වයක් උද්ගත වූ කල්හී එය හිට්ච්කොක් ගේ The Birds චිත්‍රපටයේ භාෂිත තත්වයට බොහෝ සෙය්න් සමාන විය හැක්කේය.

ලෝහමය කෘතීම කැදලි තුල සිරකොට මිනිසුන්ගේ මානසික ආතතිය සංසිදවන්නා වූ දසුනක් මෙන්ම ත්‍යාග භාණ්ඩයක් බවට පක්ෂීන් පත් කරනු වස් මිනිසුන්ට පරමාධිපත්‍යය බලයක් ලබා දුන්නේ කවුරුද ? හිට්ච්කොක් මෙහිදී අගතියට පත් පක්ෂීහූ මිනිසුන්ගේ තැන තබා මනුශ්‍යයෝ පක්ෂීන්ගේ තැන තබා සිර කරන්නේය. එහෙය්න් හිට්ච්කොක්ගෙ බර්ඩ්ස්හී මනුශ්‍යයෝ , යථාර්ථයදී මානව ක්‍රියාකාරකම් කර්ණයෙන් ජීවත්වීමේ නිදහසින් අගතියට පත් පක්ෂීන්ගේ ඉරණම කරපින්නා ගත්තෝ වෙති. ඔව්හු පක්ෂීන්ගේ මරණීය ආක්‍රමණයන්ගෙන් දිවි රක්ෂා කරගනු වස් සැගවෙති. අවිනිශ්චිත මරණීය මොහොත පිළිබඳ සිතමින් භීතියෙන් ගැහෙති. හිට්ච්කොක් එකී භීතියෙන් චිත්‍රපටය තුල කුකුස සාර්ථකව ජනනය කරන්නේය

ප්‍රශ්නය අනුන්ගේ වනතුරු පිළිතුර සැමවිටම දාර්ශනිකය. හිට්ච්කොක් යථාර්ථයේදී පක්ෂීන් මුහුණ දී ඇති කටුකත්වය සිනමාපටය තුල මිනිසුන්ට ආරූඪ කරන්නේ එහෙය්නි. එය සිතීමට පෙළඹවීමකි. හිට්ච්කොක් මෙහිදී සියළු පක්ෂීන්ට ගුප්ත මෙන්ම දරුණු ස්වභාවයන් ආරූඪ කරන්නේය .හොට වකුටු දරුණු ලිහිණීන් , මරණීය ප්‍රහාර එල්ල කරන්නා වූ කපුටන් හිට්ච්කොක් The Birds හී නිර්මාණය කරන්නේය.

එමෙන්ම චිත්‍රපටයහි ප්‍රධාන චරිතයක් වූ මිට්ච්ගේ හැසිරීමද හිට්ච්කොක් විසින් The Birds හී මනුශ්‍ය ක්‍රියාකාරකම් කර්ණයෙන් අගතියට පත් වූ පක්ෂීන්ගේ ස්වභාවය චිත්‍රපටයේදී මිනිසුන්ට ආරෝපණයක් කරනු වස් ප්‍රයත්න දරා ඇති බවට ප්‍රබල සාක්ෂ්‍යකි. මිට්ච් කිසිවිටකත් පක්ෂීන්ට හානි කිරීමට ප්‍රයත්න නොදරන්නේය. ඔහුගේ එකම උත්සාහය වනුවේ ඔහුගේ පරිවාරය පක්ෂි ආක්‍රමණයන්ගෙන් මුදවා ගැනීම පමණකි. ඔහු ඒ උදෙසා හැකි උපරිමය කරන්නේය.

The Birds හී සංස්කරණය මෙහි විශේෂිතම සාධකයකි. සම්පූර්ණ චිත්‍රපටයම දින දෙක තුනක කාල වපසරියක කතන්දරයක් වටා ගොඩනැගී ඇති හෙය්න් කාලය හා අවකාශය වෙනස්වන සුළු ස්වභාවය දැනවීම වස් සාර්ථක ශිල්ප ක්‍රම කිහිපයක්ම සංස්කරණයේදී භාවිත කර ඇති අතර එය අතිශය සාර්ථකය.
තිරරචනය , සිනෙමැටොග්‍රැෆි මෙන්ම පසුතල නිර්මාණය ද මෙහි විශිෂ්ඨත්වයට නිසැක සාධකයන්ය. එසේ හෙය්න් මාගේ පෞද්ගලික විශ්වාසයට අනුව හිට්ච්කොක්ගෙ The Birds ද එක්තරා ආකාරයක සිනමා අග්‍රකෘතියකි .

    🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts