Repulsion ( 1965)







Repulsion ( 1965)

| කැරොල්ට පිස්සුද ? |

රෝමන් පොලස්කි ගේ සිනමාවට මා ඇලුම් කරන්නා වූ හේතු ද්විත්වයක් ඇත. එකක් නම් රෝමන් චිත්‍රපටයන් තුල දර්ශනයෙන් දර්ශනය ප්‍රකට කරවන භාවාත්මක සිනමාත්මක භාවයය් . අනෙක වනුයේ රූපසංඛේත මූලික දර්ශනයන් උපයෝගී කරගනිමින් චිත්‍රපට භාෂිතයේ යටි පෙළ නරඹන්නාට දැනවීමේ ඔහුටම අනන්‍ය අපූර්ව ශක්‍යතාවය්. ඔහුගේ දෙවෙනි වෘත්තාන්ත චිත්‍රපටය වන Repulsion හීද රෝමන්ගේ මා ප්‍රියකරන්නා වූ එකී සුපුරුදු අපූර්ව සිනමා ව්‍යාකරණයේ මෙන්ම සිනමා භාෂණයෙහි අපූර්වත්වය මා කදිමට අත්වින්දෙමි.

Carole හා Helan තට්ටු නිවාසයක වාසය කරන්නා වූ සහෝදරියන් දෙදෙනෙකි . Carole අතිශය සුරූපිය. නමුත් ඈ පිරිමින්ට බියය. එතරම් සමාජීය වීම ප්‍රිය නොකරන්නීයකි සාමාන්‍ය නොවූ මානසික ව්‍යාධියකින් පෙළෙන්නියකි. හෙලන් විසින් කැරොල්ව මහල් නිවාසයෙහි තනිකර දමා ඇගේ පෙම්වතා සමග සංචාරයක් යනුයේ තත්වයන් එසේ පැවතියදීය. Repulsion හි කතාන්දරය මහල් නිවසේ තනිවූ කැරොල්ගේ මානසික හැසිරීම් හා ඈට ඉන් මුහුණපෑමට වන ඛේදනීයත්වයය්.

කැරොල්ගේ එකී මනෝ ව්‍යාධියට විශේෂයෙන් පුරුෂ ඇසුර ප්‍රිය නොකිරීමට හේතු ලෙස පොලන්ස්කි දක්වනුයේ ඈ පිරිමින්ගෙන් බලහත්කාරකම් , අතවරවීම් හැරුණු විට අන් දෙයක් අතීතයේ සිට අත්නොවිද ඇති බවය. විවිධ රූප සංඛේත කැරොල්ගේ සිතෙහි මැවෙන්නා වූ විකාරරූපී සිතුවිලි දාමයන් තුලින් තිරයට ගෙන එන පොලන්ස්කි නරඹන්නාට එය හගවනුයේ හුදු සාම්ප්‍රදායික සිල්ලර චිත්‍රපට වලින් වෙනස් වූ ගැඹුරු කාන්තා මනෝභාවයන් කියවීමක් Repulsion හී ආරෝපිත කරවමිනි.

ඈ අත්විද ඇති පුරුෂ කටෝරත්වය නිසාවෙන් ඈ සෑම පුරුෂයෙකුම මනිනුයේ ඒ මිම්මෙනි. ඈට හමුවන සෑම පිරිමියෙකුම දකිනුයේ එකී පීඩාකාරී දෘෂ්ටි කෝණයෙනි. එලෙසින් ඔවුන්ගෙන් ඈ වෙත ඇතිවිය හැකි අහිතකර බලපෑම ගෙන පෙරයීම් කරන ඈ පිරිමින් ප්‍රතික්ෂේප කරන්නේය. ඈට අත්විදීමට වූ කටුක අත්දැකීම් නැවත ලැබෙය්දෝ යන බියෙන් පීඩිතව ජීවත් වනුයේය. ඈ නිවසෙහි තනිවු කල්හි මෙකී භීතිය මානසික ව්‍යාධියක අයුරින් උඩු දුවන්නේය. සුරූපී කැරොල්ගේ ම්ලේච්ඡත්වය එලි බසිනුයේ එකී භීතියට ප්‍රතිරෝධයක් ලෙසය.

කැරොල් පිළිබඳව නරඹන්නා සංවේදී වනුයේ ඇගේ ම්ලේච්ඡත්වය හා භීතිය සමානුපාතිකව තිරයට ආ පසුවය. සැබවින්ම මනෝව්‍යාදීන් කැරොල්ද නැතහොත් ඈට එවැනි කනගාටුදායක වාතාවරණයක් උරුම කර දුන් උදවියද යන වග රෝමන් නරඹන්නාගෙන් සියුම්ව විවේචනාත්මකව ප්‍රශ්න කරන්නේය.

Repulsion තුල රෝමන්ගේ අරමුණ වනුයේ සිය පීඩාකාරී අතීතකාමය , ශේෂ කල මතකයන් තුල එල්බ සිටිමින් මනෝමය වශයෙන් අවපීඩිත කතකගේ ඛේදනීය වර්තමානය හා අනාගතය මෙන්ම මානසික අරගලය සිනමාවට ගෙන ඒමය. එය කාන්තා හිංසනය පිළිබඳව රෝමන්ගේ විවේචනාත්මක කියවීමද නරඹන්නාට සෘජුව අභිමුඛ කිරීමකි. නමුත් රෝමන් මෙහිදී එය කරනුයේ සංවේදීත්වය උද්දීපනය කරවන සුලු ම්ලේච්ඡත්වයද යම් තරමකට සිනමාත්මකව ආලේඛ්‍ය කරවමිනි.

                      🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts