Pieces Of Women ( 2021)
Pieces Of Women ( 2021)
සුසුමකින් ඇරඹෙන බලාපොරොත්තුවෙහි ආලේඛ්‍ය.
සිනමාව තුලදී ඛේදනීය කතාන්දරයන් අප නිරායාසයෙන්ම ආත්මීය කරගන්නෙමු.
ඊට හේතුව කුමක් විය හැකිද..? එය මා හට ඇති නිෂ්චිත පිළිතුරක් නොමැති ගැටලුවකි. බාගදා ඛේදනීය කතාන්දරයන් ගැබ් වූ චිත්‍රපට සැලකිය යුතු වපසරියක් විවරණය කිරීම විය හැක. නැත්නම් ඒ ඒ චිත්‍රපටයන් හි කතාන්දරයන් අරබයා අප මානුශීයව සංවේදීත්වයට පත් වීම ඊට කර්ණය විය හැක. ඊට එකිනෙකාට සාපේක්ෂව හේතූන් දහසක් තිබිය හැක. නමුත් ඛේදනීය කතාපුවත් විකුණන් කන්නා වූ අවරගනයේ සිල්ලර චිත්‍රපටද අපට හමුනොවන්නා නොවේ. එය වෙනම කතාකල යුතු මාතෘකාවකි මා ඉහත විස්තර කරනු ලැබුවේ සිනමාව තුලදී අපට හමුවන්නා වූ ඛේදනීය කතාන්දර ප්‍රස්තූත කරගත් විශිෂ්ට චිත්‍රපට වල ස්වභාවයය්.
අවසානය මහත් වූ තිගැස්මකි ,නැතිනම් දරාගත නොහී වේදනාවකි . චිත්‍රපටයේ කතාන්දරයම අධිමාත්‍රගත සංවේගයකි. චිත්‍රපටය අවසන් වූ පසුත් සිතින් වෙන් නොවන වේදනාවකි . නිදර්ශනයන් ලෙස Grave Of The Fireflies , Million Dollar Baby , Mystic River , Hope , Paths and Glory වැනි චිත්‍රපට පිම්මේම මෙනෙහි කල හැක.
Pieces Of Women ද එවැන්නකි.
මෙය ඇරඹෙනුයේම ඛේදයකිනි . ඉතිරිය එකී ඛේදය ශේෂ කලා වූ ශෝකී වාතාවරණය කුටුම්භයක විශේෂයෙන් කාන්තාවක් විශයෙහි ඇතිකරන්නා වූ විපර්‍යාසාත්මක හැගීම්බර වාතාවරණය විවරණය කරන්නේය. අවසානයේ සුසුමකින් ඇරඹෙන ලද බලාපොරොත්තුවකින් නැවතුම ආලේඛ්‍ය කරන්නේය
මෙහි අධ්‍යක්ෂක තැන වනුයේ හංගේරියානු වේදිකා හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන Kornel Mundruczo ය. ඔහු හා Kata Wéber. විසින් ම රචිත වේදිකා නාට්‍ය පිටපතක් පදනම් කරගනිමින් නිර්මාණය වූ මෙය ඔහුගේ කුළුදුල් ඇමරිකානු චිත්‍රපටයය්
මාර්තා හා ශෝන් ඔව්න්ගේ පලමු දරු උපත බලාපොරොත්තු වන්නා වූ අඹුසැමි යුවලකි. මාර්තා විසින් තරයේ කියා සිටිනුයේ ඈ දරු ප්‍රසූතිය සදහා තෝරාගනුයේ නිවස බවය. එහෙය්න් බාබරා නම් වින්නඹුවක් හට ප්‍රසූතිය සදහා ආරාධනා කලද බාබරා විසින් " "එවා " නම් කාන්තාවක් මාර්තාගේ ප්‍රසුතිය සදහා යොමු කරන අතර ඈ ඒ සදහා මාර්තාගේ නිවසට පැමිණෙය් . චිත්‍රපටයට කර්ණය වූ එකී ශෝකී සිදුවීම සිදුවනුයේ මෙම ප්‍රසූතියේදීය. එකී අවාසනාවන්ත සිදුවීම මාර්තා හා ශෝන්ගේ ජීවිතයන්හි සිදුකරන්නට යෙදෙන්නා වී විපර්‍යාසයන් මෙන්ම ශෝකී විකාශනය Pieces Of Women හී නිරූපිතය .
චිත්‍රපටයහි මුල් විනාඩි තිහම මාර්තාගේ දරු ප්‍රසූතිය වෙනුවෙන් වෙන්ව ඇත . අත්‍යන්තයෙන්ම එකී දර්ශනයන් නම් කිසිවිටක මතකයෙන් නොගිලිහේවි. ඉතාමත් යථාර්තවාදි වෙන්ම තියුණු ලෙස පෙළගන්වා තිබූ මාර්තාගේ දරු ප්‍රසූතිය සිනමාපටයට ප්‍රබල ඇරඹුමක් මෙන්ම ප්‍රේක්ෂකයා පවසන්නට යෙදෙන සංකීර්ණ කතාන්දරය පිලිබදව පූර්ව නිගමනයකට එළඹීමට ප්‍රමාණවත්ය.
සමස්ත චිත්‍රපටය සැලකීමේදී Kornel Mundruczo ගේ යථාර්තවාදි සියුම් සිනමා ප්‍රවේශය කිසිලෙසකින් අමතක කල නොහැක. එමෙන්ම චිත්‍රපටය නැරඹීමේදි ප්‍රබල ඉරාන සිනමාකරු අස්ගර් ෆර්හාඩිගේ සිනමා භාෂණය මෙනෙහි වීමද නොවැලැක්විය හැකි කාරණාවකි. චිත්‍රපටය පුරාවටම සිය වේදනාව සැගවීමට , අමිහිරි මතකයන් අමතක කිරීමට තනන කාන්තාව ගුප්ත ආකාරයෙන් සිනමාවට ගෙන ඒමට Kornel සමත්ව ඇත. නාට්‍යමය දර්ශන උපයෝගී කරගනිමින් ඔහු ඉතාමත් අපූර්ව ලෙස ශෝකය මතුකරන්නේය. ප්‍රාථමිකත්වයෙන් ඔබ්බට ගියාවූ සිනමා සංඛේත ඉතාමත් අපූර්ව ලෙස සිනමාපටය පුරාවටම යොදා ගන්නේය .
ඉවුරු දෙකක් යා කරමින් නදියක් මත්තෙහි තැනෙන්නා වූ පාලමක් දෙඉවුරේ සිට ගොඩනැගීවිත් නදිය මැදදී එක් වන අයුරු සිනමාපටයේ ප්‍රධාන සංඛේත භාවිතය ලෙස යොදා ගන්නා Kornel , ඇපල් තවත් ප්‍රධාන සංඛේතයක් ලෙස සිනමාපටය පුරාවටම යොදා ගනු ලබන්නේය. එය සැබවින්ම ප්‍රශස්ත සිනමා සංකේතාත්මක නැඹුරුවකි. මුල් ඇද්දවීම සදහා සකස් කොට ශීතකරන යේ දමන ඇපල් ඇට මගින් බලාපොරොත්තු නැවුම් අරමුණු මෙන්ම රතු , නිල් වර්ණයෙන් යුතු කබා යොදාගනිමින් කාන්තාවගේ සිතුවිලි වල ස්වභාවය ප්‍රේක්ෂකාගාරයට දැනවීමට Kornel උත්සාහ කර තිබු අයුරුද අත්‍යන්තයෙන් අගය කල යුතුමය.
හෙතෙම ප්‍රශස්ත සිනමාකරුවෙකි
Pieces Of Women පිළිබඳ වූ කතිකාවතකදී Vanessa Kirby ගේ රංගනය නිසැකවම මෙනෙහි කල යුතුමය. ප්‍රධාන වශයෙන් ක්‍රියාදාම චිත්‍රපටයන්හි උප ප්‍රධාන චරිතයන් උදෙසා රංගන දායකත්වය ලබා දුන් Vanessa මෙහිදී නිරතවන පෙරලිකාර රංගනය අගය කල යුතුමය. චිත්‍රපටයහි ප්‍රථම විනාඩි තිහෙහි නරඹන්නාව ප්‍රබල ලෙසින් ග්‍රහණය කරන්නා වූ ඈ අවසානය තෙක් ඇගෙන් නරඹන්නාට මිදෙනු වස් අල්ප හෝ අවකාශයක් ලබා නොදෙන්නේය
චිත්‍රපටය හි Benjamin Loeb සිනෙමැටොග්‍රැෆි භාවිතාව ද අතිශය තියුණුය. චිත්‍රපටය තුල නරඹන්නාව සංවේදී කිරීමෙහි හා සැනසීමෙහි මෙන්ම චිත්‍රපටයහි අර්ථාන්විත බලපෑම කෙරෙහි Benjamin ගේ සිනෙමැටොග්‍රැෆි භාවිතාව මනා පිටුවහලකි.
එහෙය්න් Pieces Of Women යනු වහා එව නිසැකවම බලව ලෙසින් විධානාත්මකව රෙකමදාරු කල හැකි චිත්‍රපටයකි.
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment