Night In Paradise ( 2020)
Night In Paradise ( 2020)
| පාරාදීසය රුධිරයෙන් රත් පැහැ ගැන්වෙය් |
මනුශ්‍යයෝ සැමවිටම අතිශය සංකීර්ණ මනෝභාවයන් හා හැසිරීම් ඇත්තෝය. නමුදු අන්තරායකදී මනුශ්‍යන්ගේ එකී අතිශය සංකීර්ණභාවය නිරායාසයෙන්ම අතිශය සරල වන්නේය. එකල්හි ඔවුහු තනනුයේ අන්තරායෙන් මිදීමට හෝ ස්වකීය සිතිවිලි දාමයන්ට වහල්ව සිතුවක් කිරීමටය. අන්තරාදායක වාතාවරණයන් මනුශ්‍යයෝ සුලු කාලයකට බොළද කරවන්නේ එසේය. එවිට ගන්නා තීන්දු තීරණයන්ටද ඇත්තේ කල් නොපවත්නා නමුත් කාලයෙන් කිසිවිටක සුවනොවන වේදනාවකි , බියකි . අවසානය ඛේදාන්තයකි. ශූන්‍යකි.
පලිගැනීමද එසේය. අන්තරායකදී ක්ෂණික කෝපය , තීරණයන් , කල් යල් හෝ දුර දිග නොබැලීම් කර්ණයෙන් පලිගන්නන් හට කිසි ලෙසකවත් සිල්ලර චිත්‍රපටය න්හී හෝ නවකතාවන්හී පරිදි සුඛාන්තයක් වනුයේ අවාරෙට පොල් වැටෙන්නාක් පරිදිය . පලිගැනීම් අත්‍යන්තයෙන්ම ඇතිකරනුයේ දෙපිරිසටම ඛේදාන්තයකි. ශූන්‍යකි. ඔංචිල්ලාවක් උවද ඉදිරියට තල්ලු කල කල්හි අත්‍යන්තයෙන්ම පසුපසටද පැද්දෙන්නේය. පලිගැනීම් එසේ නිමාවක් නොමැතිව බියෙන් පැද්දෙන අතර අවසානයේ ශූන්‍යෙන් ඛේදනීයව අවසන් වන්නේය. අත් වූ සුඛයක් නැත . ඛේදය විසින් ඉරණම විසදීමක් පමණක් වන්නේය.
Night in paradise කොරියානු චිත්‍රපටයෙහිද භාෂිතය එයය්. Tae Goo ඝාතකයෙකි. හෙතෙම ස්වකීය හාම්පුතා වෙනුවෙන් ඔහුගේ පාදඩකම් කරන්නෙකි. Tae Goo හට ඔහුගේ කල්ලියේ ප්‍රතිවාදී කල්ලියක් වූ doh ගෙන් වරක් ඔහුගේ කල්ලියට එක්වන ලෙස ඇරයුමක් ලැබෙන්නේය. සිය හාම්පුතාට පක්ෂග්‍රාහී Tae එය ප්‍රතික්ෂේප කරන්නේය. මෙය ඔහුට අත්කරනුයේ එතරම් හිතකර තත්වයක් නොවන අතර මින් Tae ගේ දිවියහි ඉරණම තීරණය වන සිද්ධි දාමයකට අතවැනීමක් වන්නේය.
Night in Paradise චිත්‍රපටය නිලවශයෙන් ඇරඹෙනුයේ චිත්‍රපටයෙහි විකාශනයට තුඩු දුන් හේතූන් පූර්විකාවක් අයුරින් විකාශනය වීමෙන් අනතුරුවය. එකී පූර්විකාව තුල නරඹන්නා කම්පනයට පත්වන අයුරේ සිදුවීමක් අන්තර්ගත කරන්නා වූ අධ්‍යක්ෂක තැන එතැන් පටන් ප්‍රධාන චරිතය වූ Tae ගේ දිවියහි මුහුණ පාන්නට වන්නා වූ අන්තරාදායක සිදුවීම් පිළිබඳව ඉගියක් ලබා දෙන්නේය. ඉගියෙහි පරිදි පූර්විකාවෙන් පසුව චිත්‍රපටය නිලවශයෙන් ඇරඹෙනුයේ වියරු පලිගැනීමකින් ය.
ඉන් පසුව එකී කටුකත්වය කෙමෙන් සමනය කරන්නා වූ අධ්‍යක්ෂක Park Hoon Jung සිනෙමැටොග්‍රැෆි , සියුම් පියානෝ නාද රටා හා ස්වභාව සෞන්දර්යාත්මක දර්ශනයන් හා දර්ශනතල යොදා ගනිමින් ප්‍රධාන චරිතය වූ Tae වෙත මානුශවාදී ස්පර්ශයක් ලබා දෙනුයේය. ඔහුට නරඹන්නාගේ අනුකම්පිත දෘෂ්ටිය ලබා දෙනුයේය. Tae ගේ ඉරණම පුපුරවනු වස් ඉඩහසර සලසා ගන්නේය.
Night in Paradise පලිගැනීම් හා ගැන්ග්ස්ටර් චිත්‍රපටයන් අතර තවත් එක් රැඩිකල් නිර්මාණයකි සියලුම දර්ශන අතිශයොක්තියෙන් තොරය. තිරපිටපත ප්‍රබලය. ඒ තුල අවස්ථාවාදීන් හා ඉන් පීඩිතයන් ගේ ජීවිතයන් දිගහැරෙන්නේය. එමෙන්ම ක්ලය්මැක්ස් දර්ශනය වෙනුවෙන් Park Hoon Jung හට සියලු ගෞරවය ලැබිය යුතුය. සිල්ලර අතිශයොක්තියෙන් තොරව චිත්‍රපටයෙහි අවසාන අඩ හෝරාවේදී Park Hoon Jung යථාර්ථයට සමපාත වන්නේය.
Night In Paradise හී චරිතයන්හි ප්‍රේමාභිලාශයන් වැදුම් ගෙය්ම මියෙදෙන්නේය . අනුකම්පා විරහිත මුවහත් කිනිසි උදරයන් , හදවත් සිදුරු කරන්නේය , අනුකම්පා විරහිත ගිණිඅවි මූනිස්සම් මෙකී පාරාදීසයෙහි ඉරනම් විසදන්නෝ වන්නෝය. පලිගැනීම්හී හා පාවාදීම් හී වියරුව පාරාදීසය ලෙය්න් තෙමන්නේය. සියල්ලෝම අවසානයේ ශූන්‍යත්වය , ඛේදය වැළදගන්නේය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment