Amnesty ( 2011)
| තහනම් ගහේ ගෙඩි බුදින්නෝ ඛේදයෙහි ගිලෙති !! |
නව අල්බේනියානු සිනමාව තුල Bujar Alimani යනු තවත් එක් බලකණුවකි. ග්‍රීක සිනමා ශෛලියෙන් පන්නරය ලැබුවෙකු වන Bujar ගේ සිනමාකරණයදී ඔහුගේ අනන්‍යතාව ලෙස යම් අපිළිවෙල දෘශ්‍ය ක්‍රමවේදයක් භාවිතා කරන බව ඔහුගේ චිත්‍රපට නැරඹීමේදී පසක් වන්නකි . Bujar සිනමාපට තුල දර්ශනයන් ගලායෑම කඩින් කඩ අක්‍රමවත් කරන අතර කඩින් කඩ ඔහු චිත්‍රපටය තුල පවසන මෙන්ම අත්‍යන්තයෙන්ම චිත්‍රපටය තුල මතුකල යුතු ප්‍රස්තූතය විස්තර කිරීමට අදාල දර්ශනයන් චිත්‍රපටයට ඔබ්බවය්. චිත්‍රපටය තුල කිසිසේත්ම ක්‍රමානුකූලව කතාන්දරය නොකියන අතර අපිලිවෙල ලෙස චිත්‍රපටය තුල විසුරවන්නා වූ කතාන්දරයක් චිත්‍රපටය අගබාගයේදි එකතු කිරීමක් සිදුකරය්.
Amnesty යනු Bujar විසින් 2011 දී නිර්මාණය කල චිත්‍රපටයකි. එවර ඔස්කාර් සම්මාන උලෙලෙහි අල්බේරියාව නියෝජනය කලේද මෙයය්. නමුත් මුල් වටයෙන්ම ඔස්කාර් තරගයෙන් ඉවත් වන්නටද Amnesty චිත්‍රපටයට සිදුවිය . එය අභාග්‍යකි . කෙසේ වෙතත් Bujar ගේ Amnesty විශිෂ්ට කෙසේ වෙතත් අපූර්ව චිත්‍රපටයකි. නරඹන්නා සොවින් ගිල්ලවන්නකි
එල්සා විවාහක මෙන්ම දෙදරු මවකි. ඇගේ සැමියා ගත් ණයක් නොගෙවීම නිසාවෙන් සිරගතව සිටින අතර එල්සා මසකට වරක් සිය සැමියා හමුවීමට ටිරානා හි බන්ධනාගාරයට පැමිණෙය් . චිත්‍රපටය ඇරඹුමේදීම ඇගේ රැකියාවෙන් නෙරපන එල්සා සිය මාමණ්ඩිය සමග ටිරානාහීම වෙසෙන්නීය. ටිරානා බන්ධනාගාරය තුල එක් විශේෂත්වයක් වෙය්. එනම් බන්ධනාගාර ගතව සිටින්නන්ට සිය සහකරුවන් හෝ සහකාරියන් සමග මසකට වරක් බන්ධනාගාරයට මුදල් ගෙවා ලිංගිකව එක්වීමේ අවස්ථාවය්. එල්සා සෑම මසකම බන්ධනාගාරයට මුදල් ගෙවා සැමියා හමුවී ඔහුව ලිංගිකව තෘප්ත කරන අතර රෝහලක මුලුතැන්ගෙයක සේවය කරමින් ඇගේ දරුවන් රැක බලා ගනිය්
ස්පෙටිම් යනු මැදිවියේ පුරුෂයෙකි. ඔහුගේ බිරිද ව්‍යාජ සංක්‍රමණික බලපත්‍ර ආරවුලකට හසුව බන්ධනාගාර ගතව සිටින්නීය. ස්පෙටිම්ද මසකට වරක් බන්ධනාගාරයට පැමිණ සිය බිරිද හමුවන්නේය.
ස්පෙටිම් හා එල්සා එකම දිනයේ බන්ධනාගාරයට පැමිණි දිනක බන්ධනාගාර රැදවියකුගේ හා තරුණියකගේ විවාහය සදහා ඇපකරුවන් ලෙස අත්සන් කිරීමට එල්සාට හා ස්පෙටිම්ට සිදුවනුයේ ඔව්න්ට අවස්ථා කිහිපයකදී වරින් වර අහම්බෙන් හමුව ප්‍රේමයෙන් බැදෙනු වස් දෛවයට අවකාශ උදාකර දෙමිනි.
Bujar කිසිවිටකත් කතාව තුල එල්සාගේ සැමියා හෝ ස්පෙටිම්ගේ සැමියා නොපෙන්වය්. ඔව්න්ට චිත්‍රපටය තුල දෙබස්ද නැත. නමුදු ප්‍රධාන චරිත ද්විත්වය උදෙසා කරනුයේ සුලුපටු බලපෑමක් නොවේ. එම චරිත නොපෙන්වා ඔව්න් කතාන්දරය තුලට සිදුකරන්නා වූ බලපෑම පමණක් Bujar චිත්‍රපටය තුල ශේෂ කිරීම ඔහුගේ සිනමා භාවිතාවේ තවත් එක් අපූර්වත්වයකි.
චිත්‍රපටය තුල ප්‍රධානවශයෙන් එල්සාගේ හා ස්පෙටිම්ගේ අනියම් ප්‍රේමයේ ශෝකී විකාශනය කතාන්දරය වුවද Bujar මෙහිදී අල්බේනියානු මධ්‍යමපාන්තික ජීවිතයන්හී ශෝකාලාපය මෙන්ම අල්බේනියානු සමාජය හා කාන්තාව අතර නිමා නොවන අනවරත අරගලය යටිපෙලෙහි විවරණය කරන්නේය.
එල්සා රැකියාව අහිමි වූ පසු බොහෝ සෙය්න් අසරණ වනුයේය. සම්ප්‍රදායික ආර්ථික රටාවෙන් ඔබ්බට සිමාතරණය කරනු වස් අවකාශ නොලැබූ අල්බේරියනු සමාජය තැලෙන යකඩ තලන්නාක් මෙන් මධ්‍යමපාන්තියකයා පෙලන්නේය. මධ්‍යමපාන්තියක පිරිමි ගතානුගතික කාලකණ්නි ජීවිත ගත කරති. කතුන් දරුවන් සමග අසරණය. ඉතින් එදිනෙදා ජීවිකාව සපුරා ගැනීම මිසක වෙනත් අරමුණක් කාන්තාව කෙසේ සිතන්නේද ?. එල්සා ගේ හා ස්පෙටිම්ගේ ප්‍රේමය මුල් අදිනුයේ මෙකී පීඩාකාරී ජීවිතවලට එකිනෙකාගෙන් යම් අස්වැසිල්ලක් ලබා ගනු අටියෙනි. එය අනියම් යැය් වරනගා අතපිහා ගත්තද මෙහිදී අතිශය ස්වභාවික මානව හැසිරීමකි.
රේල් පීලි දෙකක් බදුව සමාන්තර ක්‍රමයට ගෙවීගිය එල්සාගේ හා ස්පෙටිම්ගේ ජීවිත බන්ධනාගාර ස්ටේෂමේදී හමුවන්නේය. ජීවිත හා බැදීම් පෙරයීම් කල නොහැක. සමහර බැදීම් අනපේක්ෂිත අයුරින් ඛේදය වැළද ගනුයේය. Amnesty හීද එකී ඛේදය විසින් කිරමැන නූලට ඉරණම් විසදන්නේය. ඉරණම එසේ වූ කල ඉතින් කුමක් කරන්නේද අනේ අපොය් කියා ඉහ මුදුන බදා ගනු හැර
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment