A Dead Of Mr.Lazarescu ( 2005)









A Dead Of Mr. Lazarescu ( 2005)

| නාකි Lazarescu රෑ එලිවෙනකල් ගිය ඉරණම්කාර ඇම්බියුලන්ස් ට්‍රිප් එක |

Lazarescu තනිව ජීවත් වන වයෝවෘද්ධ පුද්ගලයෙකි. හෙතෙම ඔහුගේ පිරිහෙමින් ඇති සෞඛ්‍යය තත්වයට , කාන්සියට මෙන්ම තනිකමට විසදුම් සොයනුයේ මත් පැනිනි. රෝග තත්වයන් තඹේකට මාය්ම් නොකර වේදනා නාශක මෙන්ම මත් පැනින් ඊට පැලස්තර අලවන්නෙකි.

තනිකම වයෝවෘද්ධ භාවය නිසාවෙන්ම තරමක් දරදඩු Lazarescu හට දිනක් එක් ඉරණම්කාර රැයක් එළඹෙන්නේය. වේදනා නාශක හා මත් පැන් Lazarescu ගේ ව්‍යාධීන් එකී රැයෙහි සුව කිරීමට අසමර්ත වන්නේය. දරදඩු කමට මොහොතකට නැවතීමේ තිත තබා lazarescu රෝහල් ගත වනු වස් ගිලන් රියක් කැදවන්නේය . කුමක් වූයේද ? . A dead Of Mr Lazarescu ඒ පිළිබඳවය

Cristi Puiu නම් අපූර්ව රුමේනියානු සිනමාකරුවා ගේ Dead Of Mr Lazarescu සත්‍ය කතාවක් මත පදනම් වූවකි. එක් ඛේදනීය අවාසනාවන්ත කතාන්දරයකි. නමුත් එය Cristi Puiu සිනමාවට නගනුයේ බ්ලැක් කොමඩියක් ලෙසය. මන්ද යත් ඔහුගේ අරමුණ වනුයේ Lazarescu ගේ කර්ණයෙන් සමස්ත රුමේනියානු රෝහල් පද්ධතියෙහිම අත්තනෝමතික භාවය මෙහිදී නිරුවත් කිරීම නිසාය. එමෙන්ම මෙය සත්‍ය සිදුවීමක් හෙය්න් නරඹන්නාට එය සිදුකරන්නා වූ බලපෑම ඉතා අධිකය
මෙය ප්‍රහසනයකට වඩා හිත අතගා ටොකු ඇනීමක් ලෙස නරඹන්නාට දැනෙනුයේ එහෙය්නි .

එමෙන්ම සත්‍ය සිදුවීම් ඒ ආකාරයෙන්ම අතිශයොක්තියෙන් තොරව සිනමාවට නගනු වස් Cristi Puiu ගේ සිනමා අඛ්‍යානය කෙතරම් උපකාරශීලීදැය් මට පසක් වූයේ Dead Of Lazarescu නැරඹූ පසුවය. හෙතෙම අතිශයොක්තියෙන් තොරව යථාර්ථයට අතිශය සමපාත වන අයුරින් සම්පූර්ණ චිත්‍රපටයම නිර්මාණය කරන්නේය. සංගීත භාවිතය සුපුරුදු පරිදි අවමය. සංවාද බොහොමයක් චිත්‍රපටය උදෙසා යොදා ගන්නේය. චරිත බොහොමයකි. නරඹන්නාට කිසිදු ආකාරයක කලකිරීමක් චිත්‍රපටයෙහි නිර්මාණාත්මක වපසරිය තුල Cristi Puiu ඉතිරි නොකරන්නේය.

නරඹන්නා කලකිරෙනුයේ අත්තනෝමතික රෝහල් පරිපාලනය කෙරෙහිය. වෛද්‍යවරුන් කෙරෙහිය. තමා කෙරෙහි කිසිදු වගකීමක් නැති වයෝවෘද්ධ Lazarescu කෙරෙහිය. ඔහුගේ ඉරණම කෙරෙහිය. එහෙය්න්
මෙකී වගකීම් විරහිත මිනිසුන් අරබයා Cristi Puiu නිර්මාණය කල වගකීම් සහගත පරිපූර්ණ බ්ලැක් කොමඩි චිත්‍රපටයක් ලෙස මා මෙය හදුන්වනු කැමැත්තෙමි

රෝගියෙකු ලෙස Lazarescu ඔහුගේ සෞඛ්‍ය කෙරෙහි අල්ප මාත්‍ර තැකීමක් නොකර සියල්ල කෙලවර වූ පසු රෝහල් සහය පැතීම සැබවින්ම මාර කොමඩියකි.

නමුත් විශාලම කොමඩිය රුමේනියානු රෝහල් පද්දතිය හා පරිපාලනයය්. මෙහිදී වෛද්‍යවරු හා රෝහල් පරිපාලකයන්ගේ කොමඩිය සමග බැලූ කල මහලු Lazarescu ගේ මාර කොමඩිය කදෝපැනියෙකි. Lazarescu ගිලන් රියේ පුරා රැයක් රෝහල් පහකට යන්නේය. රෝහලින් රෝහලකට කිසිදු වගකීමකින් තොරව Lazarescu ව රස්තියාදු කරවන්නේය. වෛද්‍යවරු ඔව්න්ගේ පෞද්ගලික රාජකාරි අවසන් වූ තැන ඉඩක් කාරිය ලැබුන විට පමණක් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේය. රෝගීන් පිළිබඳ තැකීම ඔව්න්ගේ න්‍යාය පත්‍ර වල ඇත්තේ අන්තිම රූලේය. Lazarescu ගේ අසනීපයට කිසිදු රෝහලකින් හරිහමං ප්‍රතිකාරයක් නොමැති වුවද වෛද්‍යවරු මහලු Lazarescu ට හරි තිතට දෙස්දෙවොල් නම් තියන්නේය. වෛද්‍ය වෘතියේ ගෞරවය පිළිබඳ තඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන්නේය . ඉතින් මෙය ජාතික ප්‍රහසනයක් නොවෙය්ද මිත්‍රවරුනි. Cristi Puiu චිත්‍රපටයට තෝරාගෙන ඇත්තේ ගත යුතු නිවරදිම ශානරය නොවේද ?

🖊️ හිරුෂ කසුන්

Comments

Popular Posts