4 Months 3 Weeks and 2 Days ( 2007)
4 Months, 3 Weeks and 2 Days ( 2007 )
| රුමේනියානු සිනමාකරු Cristian Mungiu තිරයෙහි කටුගෑ ගබ්සාව |
රුමේනියානු සරසවි තරුණියන් දෙදෙනෙකි. සරසවි නේවාසිකාගාරයේ සිට ඔවුන් දෙදෙනා හෝටල් කාමරයකට මාරු වනුයේ ඉන් එක් තරුණියකගේ ගබ්සාව සිදු කර ගැනීමටය . ගබ්සාව රුමේනියානු නීතියෙන් වරදකි. කුමක් සිදුවූයේද ගබ්සාව සිදුවුණිද ? , නීතියට හසුවුනිද , ඇගේ දිවියට හානියක් වුණිද ?
රුමේනියානු සිනමාවහි වර්තමානයේ ඉදිරියෙන්ම සිටින්නා වූ ප්‍රතිභාපූර්ණ සිනමාකරුවකි Cristian Mungiu. හෙතෙම ඔහුටම ආවේනික සිනමා ආඛ්‍යානයක හිමිකරුවෙකි. සංගීත භාවිතය අවම මෙන්ම එක් සිද්ධියක් සරලව මෙන්ම යථාර්තවාදිව ඉදිරිපත් කිරීමේ සිනමාත්මක භාෂණයක් Cristian Mungiu ට හිමිය . 4 Months ,3 Weeks and 2 Days යනු Cristian Mungiu විසින් නිර්මාණය කල එවැනි යථාර්තවාදි චිත්‍රපටයකි.
චිත්‍රපටයහි භාෂිත සිදුවීම මම සටහන ඇරඹුම් චේදයෙහිම සදහන් කලෙමි. ගබ්සාව පාපයකි යන්න පෙරදිග අපගේ විශ්වාසයය්. නමුත් පාපයන් වුවද සාධාරණීකරණය කල හැකි වාතාවරණයන් එලෙඹෙන්නේය. අනපේක්ෂිතව ගැබ් ගත් කතකගේ අනාගතය සුරක්ෂිත කරගනු වස් එකම විසදුම ගබ්සාව වූ කල ඈ කුමක් කරම්ද . ලෝකයට ආනතව දරුවෙකු ඇතිදැඩි කරනු වස් ඈට දිරියක් හෝ අවස්ථාවන් ඇහිරී ඇත්නම් ඈ කුමක් කරම්ද ? එහෙය් පෙනෙන්නා වූ එකම විසදුම ගබ්සාව වූ කල ඈ ඊට නැඹුරු වීම එලෙස සාධාරණීකරණය කල හැකි නොවේද
නමුත් Cristian Mungiu ගේ 4 Months , 3 Weeks And 2 Days භාෂණය ඊටම සීමා නොවන්නේය. කාන්තාව එවැනි අවස්ථාවන්හි සැබවින්ම අසරණය. කාන්තාවක් අසරණ වු කල්හි පුරුෂයන් බොර දියේ මාළු බෑම අරුමයක් නොවන්නේය. මෙහිදී එයද Mungiu ගේ ඇසට හසුවන්නේය . අනාදිමත් කාලයක පටන් ලිංගිකත්වයට මිලක් නියම වන සමාජයකි මෙය. නමුත් කාන්තාවකගේ අසරණ භාවයෙන් ලිංගික වාසි ගැනීම සදාචාරාත්මක භාවය අගයන සමාජයක සැගවුණු අප්‍රකට නිරුවතක් එලි වීමක් නොවේද.
ඉන් නොනැවතී එවැනි සිදුවීමකට මුහුණ පෑ තරුණ සරසවි සිසුවියන් දෙදෙනාගේ එකිනෙකට විරුද්ධ මනෝභාවයන් තුලනාත්මකව විමසා බැලීමක් Mungiu විසින් මෙහිදී සිදුකරනුයේය. ඔවුන් දෙදෙනාගේ සමාජීය හැසිරීම් හී කුලෑටි භාවය. එකිනෙකා වෙනුවෙන් ඕනම මට්ටමක කැපකිරීමක් සිදු කල හැකි අපූර්ව බැදීමද මෙහිදී Mungiu විවේචනාත්මක සිනමා ඇසට හසුවනුයේය.
4 Months 3 Weeks 2 Days පිළිබඳ ලිවීමේදී අධ්‍යක්ෂක Cristian Mungiu අගයකොට නැවතී මෙහි රංගනයෙන් පණදුන් Anamaria Marinca , Laura Vasiliu අමතක කරන්නෙනම් එය සමාව දිය නොහැකි වරදකි . චිත්‍රපටයහි කතාන්දරයෙහි සංවේදී භාවය මෙන්ම සියුම් ඛේදය නරඹන්නාට දැනවිමේ වගකීම් බාරය ඔවුන් දෙදෙනා ප්‍රශ්ස්ත අයුරින් අදිනුයේය.
අතීතය ගෙවී අවසන්ය එය පිළිබඳව දෙස් දෙවොල් තැබීමෙන් වනුයේ කැපකිරීම් කොට පැහැදිලි කොට ගත් අනාගතය උභතෝකෝටිකයහි ගිල්වීම පමණකි. ඉදින් අතීතයට අතීතයෙහි ලැගුම් ගැනීමට ඉඩදී වර්තමානය අනාගතය පිළිබඳව අවධානය යොමු කල යුතු වෙය්. Cristian Mungiu විසින් චිත්‍රපටහි නරඹන්නාට දෙන්නා වූ අවසන් ප්‍රත්‍යක්ෂය එයය්.
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment