The World To Come ( 2020)
The World To Come ( 2020)
ගතානුගතිකත්වය , ජීවිතයෙහි අභිලාෂයන් ගිලිහී යාම , ප්‍රියයන් වෙන්වීම හෝ බලාපොරොත්තු වන පරිදි ආදර ගෞරවය නොලැබී යාම කර්ණයෙන් මිනිසුන් හෝ ගැහැණුන් තුන් වන පාර්ශ්වයකින් තමාගේ ජීවිතයේ සංතෘෂ්ටිය පැතීම කිසිලෙසකින්වත් අරුමයක් නොවන්නේය. ඊට ලිංග භේද යනුද එතරම් ගිණිය යුතු දෙයක් නොවන්නේ එවැනි සබදතා සමාජය තුල අරුමැසියක් නොවන හෙය්නි. The World To Come හීද කතාන්දරය වනුවේ එයය්.
ජීවිතයන්හි ගතානුගතිකත්වය මෙන්ම සිය අභිලාෂයන් සිදී යාම මෙන්ම , ඇගේ ප්‍රිය දියණියගේ වියෝව කර්ණකොට ගනිමින් සංතෘෂ්ටියෙන් වෙන් වූ දිවියක් ගත කල Abigail හා සිය සැමියාගෙන් ප්‍රාර්ථනා කරන අයුරින් ආදර ගෞරවය නොලැබීමත් , විවාහය තුල හුදකලා වීම කර්ණයෙනුත් සංතෘෂ්ටියෙන් බොහෝ දුරින් දිවි ගෙවූ Tallie අහඹුවේ අරුමයෙන් අසල්වැසියන් වන්නේය. දෛවයේ අරුමයෙන් මිතුරන් වන්නේය . සිය දිවියන්හි පොදු ඌන පූරකයන් එකිනෙකා හා සපුරා ගන්නේය. ගතානුගතිකත්වයෙන් මිදී සංතෘෂ්ටිය සොයන්නේය.
19 වන සියවසේ ඇමරිකානු කාන්තාව එක් රාමුවකට ලඝු කලද ඔවුහු ඉන් වෙහෙසට මෙන්ම ඉච්ඡා භංගත්වයට පත්වන බවත් ඉන් ඔවුන් එකී රාමුවෙන් එපිටට පැතීමට උත්සාහ කරන බවත් මෙහිදී කියන්නට තනන්නේය. නමුත් එකී කාන්තාව යම් හෙයකින් සිය සංතෘෂ්ටිය සොයා යාම ඛේදයකට අත වැනීමක්දැය් චිත්‍රපටය තුලින් ප්‍රශ්න කරන්නේය.
විවාහය යනු බැදගත් බෙරයට තැලීමකි . ඊට තාලයට තලන්නේද , තලන්නන් වාලේ තලන්නේදැය් අඹු සැමියන් තීරණය කල යුතුය. බෙරයෙහි පැති දෙකක් ඇති හෙය්න් එක් පැත්තකට තලන්නන් වාලේ තැලූ කල්හි එය බෙර පදයක් වන්නේ නැත. තලන්නන් වාලේ තලන්නන් ඇති කරන ඝෝෂාවක් පමණි. ඉතින් අඹු සැමි සබදතාව එලෙස තලන්නන් වාලේ තලන බෙරයක් වූ කල්හි ඔවුන්ගේ සබදතාවෙහි සංතෘෂ්ටිය හෝ සැනසීම ගිලිහී මහා අරුමයක් නොවේ. Tallie ගේ දිවියෙන් සංතෘෂ්ටිය දුරස් වූයේ එලෙසය.
මුල සිටම ගතානුගතික ඇල්මැරුණ දිවියක් ගත කල Abigail හට ඉන් මිදීමට හැකි වූයේ සිය දියණිය හරහාය. සිය දියණියගේ අනපේක්ෂිත වියෝවෙන් ඈ නැවතත් පෙර ගතකල ගතානුගතික දිවියට මෙන්ම මහත් වූ හුදකලාවකට පෙරලෙන්නේ ඇගේ සැමියා වූ Dyer ගේ ඇල්මැරුණ දිවිපෙවෙත නිසාවෙනි. නමුත් ඈට සැමියාගෙන් අවැසි ආදර ගෞරවය dyer ගෙන් ලැබෙන්නේය. නමුත් ගතානුගතිකත්වය මෙන්ම හුදකලාව ඈ පෙලන්නේය. ඇගේ දිවියෙන් සංතෘෂ්ටිය දුරස් වන්නේ එලෙසය.
Dyer හා Abigail ගේ සබදතාව දළු ලා වැඩෙන්නේ මේ පරිස්ථිතීන් තුලය. දෙදෙනාගේම අරමුණ ගතානුගතිකත්වයෙන් මිදී සංතෘෂ්ටිය දිවියට ලගා කරගැනීමය්. අනුකම්පාව , ආදර ගෞරවය සොයා යෑමය්. සීත ඍතුවේ දළු ලා වැඩෙන ටැලීගේ හා අබිගේල් ගේ ප්‍රේමය වසන්තය එලෙඹෙත්ම පුරුෂාධිපත්‍ය විසින් දුරස් කරන්නේය. එය ටැලීට අත්කරනුයේ මහත් වූ ඛේදයකි. අබිගේල් හට මහත් වූ හිස් බවකි. සංවේගයකි.
The World To Come චිත්‍රපටය Mona Fastvold ගේ අධ්‍යක්ෂණයකි. මින් ඈ මූලික වශයෙන් 19 වන සියවසේ ඇමරිකානු සමාජය පුරුෂාධිපත්‍ය තුලින් ස්ත්‍රීත්වය යට පත් කිරීමත් , එකල ස්ත්‍රීන්ගේ ගතානුගතික මෙන්ම අභිලාෂයන් සිදී ගිය ජීවිත සිත්තම් කරන්නට තනන බවක් බැලූ බැල්මට පෙනෙන්නේය. කාව්‍යමය සංවාදයන්ගෙන් චිත්‍රපටය පෝෂිතය. බිදුණු සිත් ඇත්තන් , දිවිය තුල හුදකලා වුවන් , රෝමාන්තික ආමන්ත්‍රණයන් එකී කාව්‍යමය සංවාදයන්හි අන්තර්ගත වන්නේය. එමෙන්ම Vanessa Kirby , Katherine Waterston , Casey Affleck , Cristopher Abbott ගේ ආත්මීය රංගනය තුලින් මෙන්ම André Chemetoff ගේ නේත්‍රාකර්ෂණීය සිනෙමැටොග්‍රැෆි භාවිතයෙන් , Mona Fastvold මවනුයෙ සැබවින්ම සිතුවමකි. කාන්තා සමරිසි රෝමාන්තිකයකට එහා ගිය සංතෘෂ්ටිය දුරස් වූ කතුන් සංතෘෂ්ටිය ලගා කරගනු වස් වෑයමක් නොදැරූ වෑයමක ආලේඛ්‍යකි.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment