Raya The Last Dragon (2021)


 Raya And The Last Dragon ( 2021)


Walt Disney සමාගම සජීවිකරණ සිනමාපට අරභයා වූ කිසිදු භාෂණයකදී මගහැර යාම උගහටය . සජීවිකරණ සිනමාපටයන්හි විවිධ වූ පර්‍යේෂණයන් , අත්හදාබැලීම් නිරතරයෙන් කරමින්., නිරන්තරයෙන් විවිධ ත්‍රිමාණ සජීවිකරණ ඉහල තාක්ෂණික ස්ථර ස්පර්ශ කරමින් ඩිස්නි සමාගම සජීවිකරණ සිනමාපට නිර්මාණකරණයෙහි දශක ගණනාවක සිට නියැලී සිටින්නේය.


ඩිස්නි සමාගම විසින් නිර්මාණය කරන්නට යෙදෙන බහුතර නිර්මාණයන් ඉතාමත් ඉහලින් ලොව පුරා ප්‍රේක්ෂකාගාර වැළද ගැනීමට ඉහත මා කී පරිද්දෙන් ඔව්හු විසින් විවිධ අත්හදා බැලීම් ආදියෙන් අනතුරුව ඉහල තාක්ෂණික ස්ථර ස්පර්ශ කරමින් විවිධත්වයෙන් යුතු ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය කිරීම මෙන්ම සියලුම වයස් ඛාණ්ඩයකම ප්‍රේක්ෂකාගාරයට උචිත වන අයුරින් ඇනිමේෂන් චිත්‍රපට නිර්මාණය කිරීමේ ශක්‍යතාවද ප්‍රධාන වන්නේය. 


එනිසාවෙන්ම ඔවුන් සජීවිකරණ  චිත්‍රපට තුලින් ගෙන එන්නා වූ කතාන්දර අතිශය සරලය. උප කතා , අනු කතා , සංකිර්ණ ප්‍රබන්ධමය ස්වරූපයන් කිසිවත් ඒවයේ නැත්තේය. රේඛීයව ගලා යන්නා වූ කතාන්දරයක් සැමවිටම ඔව්හු සිනමාකරණයට ප්‍රස්තූත කරගන්නෝය. හදුන්වාදෙන්නට යෙදන චරිතයන්ද අතිශය සරලය , සමීපය, මනබදිනා සුලුය . කතාන්දරය තුල ෆැන්ටසිය සමග අතිශය ආකර්ෂණීය ආකාරයෙන් ගනුදෙනු කරන්නේය. 


Raya and the last dragon යනුද එකී සාම්ප්‍රදායික ඩිස්නි සජීවිකරණ සිනමා ආකෘතිය නැවත ප්‍රේක්ෂකයාට අභිමුඛ ගැන්වීමකි. වීරත්වයන් , අභිලාෂයන් කැටි වූ සෞන්දර්යාත්මක ෆැන්ටසිමය සජීවිකරණ සිනමා ආමන්ත්‍රණයකි. 


මකරුන් විසින් ආරක්ෂා කරන්නා වූ කුමන්ද්‍රා නම් ප්‍රදේශයකි. වර්ෂ පන්සියයකට පෙරාතුව ඩෲන් නම් අදුරු බලවේගයක් විසින් මෙකී ප්‍රදේශයෙහි මිනිසුන් , මකරුන් ගල් පිලිම බවට පත් කරන්නේය. මෙයට ප්‍රතිවිරුද්ධව සිසූ නම් මකරා විසින් මාණික්‍යක් නිර්මාණය කරන්නට යෙදෙන අතර ඉන් ඩෲන් මැඩපවත්වා ගල් වූවන් ඉන් මිදවීමට හැකි වෙය්. නමුත් පසුව එම මාණික්‍ය අය්තිකරගැනීම සදහා වූ සටනින් කුමන්ද්‍රාව ජනපද පහකට වෙන් වෙය්. නමුත් යලිත් උද්ගත වන ගැටලුකාරී වාතාවරණයක් නිසා මකරමාණික්‍ය විනාශ වී නැවතත් ඩෲන් අදුරු බලවේගය ලොවට පැමිණේ.


සාර්ථකත්වය , සෞභාග්‍යයමත් භාවයට ඇති අත්‍යන්ත විසදුම එකිනෙකා අරබයා ඇති කරගත යුතු විශ්වාසයය්. රයාහි ෆැන්ටසිමය කතාන්දරයෙහි ප්‍රස්තූත හරය එයය්. 


Raya and the last dragon තාක්ෂණික වශයෙන් අතිශය සාර්ථක සජීවිකරණ නිමවුමකි. නරඹන්නාගෙ නෙතට රසදුනකි . පසුබිම් සංගීත සංයෝජනය කලකින් ඇනිමේෂන් සිනෙරුවකින් අත්දකින්නට ලැබෙන අයුරෙහි සංගීත කණ්ඩයන්ගෙන් සමන්විතය. සංගීතය අතිශය මියුරුය. කතාන්දරය කෙමෙන් නරඹන්නා ආත්මීය කරගනු වස් ඉහල දායකත්වයක් සංගීතයෙන් ලැබූ බව කිවමනාය. සුපුරුදු පරිද්දෙන් මෙම අපූර්ව ඩිස්නි සජීවිකරණ සිනමාපටයද සියලුම වයස් කාණ්ඩයන්ට අයත් වූ නරඹන්නන් අත්‍යන්තයෙන්ම තෘප්ත කරවන බව නොරහසකි . එහෙය්න් එවබලව විධානය මේ චිත්‍රපටය උදෙසා මා භාවිතා කරනුයේ කිසිදු උභතෝකෝටිකයකින් තොරවය.


                                     🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts