Our Little Sister (2015)


 Our Little Sister ( 2015)


 | සහෝදරත්වයේ කුටුම්භය |


ජපනුන් සිනමාව නම් සෞන්දර්යාත්මක විශයපථය තුල සැබවින්ම හපනුන්ය. අතීතයේ උවද අද උවද එහි අංශු මාත්‍රයක කිසිදු වෙනසක් හෝ පරස්පරයක් නැත්තේය. සිනමාව තුල කිනම් ප්‍රස්තූතයක් වුවද කලාත්මකව භාෂණය කරනු වස් ජපනුන් එදත් අදත් හපන්නුය . ඉන් වඩාත් ප්‍රකට වනුයේ ජපනුන් සිනමාව තුලින් සරල මෙන්ම සංකීර්ණ සමාජ ප්‍රස්තූතයන් අපූර්ව ලෙසත් ප්‍රතිභාපූර්ණ ලෙසත් සිනමාවට නගන අයුරුය . එලෙස සිතන කල්හි ජපන් සමාජය ඉතාමත් සරල ප්‍රස්තූතයන් තුලින් ගැඹුරු ලෙසත් පුලුල් විනිවිද දකින්නෙක් ලෙස මෙනෙහි කරත්ම මා හට නිරායාසයෙන්ම මතකයට එනුයේ මහා ජපන් සිනමාකරු යසුජිරෝ ඔසු මහතාවය. ඔසු මහතාගෙන් පසු මම ඒ අපූර්ව කුසලතාව අංශු මාත්‍රයක වෙනසකින් තොරව කාව්‍යාත්මක සිනමා ව්‍යාකරණයකින් සිනමාව ගෙත්තම් කරන්නෙකු වූ සිනමාකරු හිරෝකසු කොරීඩාගෙන් දකින්නෙමි.


මේ අපූර්ව සිනමාකරු හිරෝකසු කොරීඩා ඔහුගේ කාව්‍යාත්මක, යථාර්තවාදි  සිනමා භාෂිතයෙන් ගෙත්තම් කල සිනමාත්මක පරිසමාප්තියට පත් තවත් සිනෙරුවකි Our Little Sister .


කොරීඩා මෙහිදීද ගෙන එනුයේ බැලූබැල්මට අතිශය සරල කතාන්දරයකි . ප්‍රස්තූතයකි. නමුත් කොරීඩා ඔහුගේ ඉතාම සියුම් සිනමා භාවිතය තුලින් නරඹන්නා කතාන්දරය වෙත විනිවිදවත් , පුලුල්වත් දෘෂ්ටි හෙලනු වස් නරඹන්නා පොළඹවන්නේය. මා කොරීඩාගෙ සිනමාව තුල ඔහුට මහා ගරුත්වයක් දක්වනුයේ මේ නිසාවෙනි. කොරීඩාගේ මේ මානුශීය , යථාර්තවාදි සිනමා ව්‍යායාමය සැබවින්ම මායාවකි. කවියකි .


සිය දෙමව්පියන්ගේ වෙන් වීම හේතුවෙන් තනිව වෙසෙන්නා වූ සහෝදරියන් තිදෙනෙක් . හදිසියේ වූ සිය පියාගේ අවමගුලට යන්නේය. එහිදී ඔවුනට මුණ ගැසෙනුයේ පියාගේ දෙවෙනි විවාහයේ දියණියය්. ඉතාමත් සිත් ඇදගන්නා ගති පැවතුම් ඇති ඇයට ඔවුන් තිදෙනා ආරාධනා කරනුයේ ඔවුන් සමග ජීවත් වන්නට එන ලෙසටය. 


කොරීඩාගේ මෙහි මූලික ගනුදෙනුව සහෝදරත්වය සමගය. සහෝදර බැදීම් හා සහෝදර වගකීම් මෙහිදී කොරීඩා ප්‍රබල මෙන්ම සියුම් විග්‍රහයකට ලක්කරනුයේ කාව්‍යාත්මකවය. දාරක යුවලෙහි අදූරදර්ශි තීන්දු තීරණ දරුවන් උදෙසා අනපේක්ෂිත වාතාවරණයන් උද්ගත කලද සහෝදර බැම්ම ඒ සියල්ල ජයගන්නේය. ඔවුහු ජීවත් වන්නේය. ගැටලුවලට එක්ව මුහුණ දෙන්නේය. එය යදමින් බැදි බැදීමකි. වැඩිමලා මෙම බැදීම කුටුම්භික බැදීමක් කරනු වස් මවක් ලෙසත් , පියෙක් ලෙසත් වගකීම් භාරය අදින්නේය. වැඩිමලා වටා එකතුවෙන සෙසු සහෝදරියන්ද ඔව්නොව්න්ගේ සාමූහික ජීවිතය වෙනුවෙන් වගකීම් ගනුයේ මහත් සෙනහසිනි. ඔව්හු මව්පියන් දෙසද බලනුයේ අනුකම්පා සහගතවය. ඔව්නොව්න් දෙස බලනුයේද එවැනිම අනුකම්පාවකිනි. පසුතැවීම් වලින් තොරව ඔව්හු මහත් වූ සංතෘෂ්ටියකින් යුතුව උපේක්ෂාසහගතව  එක්ව ජීවිතයට මුහුණ දෙන්නෝය .කොරීඩා මේ සියලු කාරණා සෞන්දර්යාත්මකවත් භාවාත්මකවත් සියුම්වත් සිනමාවට ගෙනෙන්නේය. සියලු සිද්ධීන් යථාර්ථයට සමපාත වන අයුරින් නිර්මාණය කරන්නේය.


කොරීඩා ඔහුගේ සුපුරුදු සිනමා රිද්මයට ක්‍රමයෙන් අනුගත වනුයේ මෙහි කොරීඩා නිර්මාණය කරන්නට යෙදෙන්නා වූ අතලොස්සක් තරම්  වූ චරිත හරහාය. කොරීඩා පළමුව ජපානයේ සුන්දරත්වය පෙන්වන්නේය. තාරුණ්‍යයේ කාර්‍යශූරත්වය වගකීම් සහගත භාවය, සමාජ ශික්ෂණය සිනමාපටය තුල දිග හරින්නේය. ජපන් සමාජයේ ගැටලු , මානුශවාදීව සියුම් විමසීමකට ලක් කරනුයේ ඉන් අනතුරුවය.


ජපාන මධ්‍යමපාන්තියකයා ණය බරින් පීඩිතය, ජීවිතය සැහැල්ලුවෙන් ගතකරනු වස් වෙරදරන අතර සරල දිවියක් වෙනුවෙන් සිහින දකින්නෝය. ඔව්න් තනනුයේ සරල ජීවිතයකට අනුගත වීම පමණි .එකී අවිහිංසක මධ්‍යමපාන්තියක අභිලාෂයන් කොරීඩා මෙහි ඔබ්බවන්නේය. ජපන් ජනසමාජය තුල පව්ල් සංකල්පය පටු කාරණා වලින් පවා බිදවැටෙන බවත් ඉන් ජනතාව විවිධාකාරයෙන් මානසිකව පීඩාවිදින බවත් , දාරක ප්‍රේමයෙන් තාරුණ්‍යය දුරස් වන බවත් කොරීඩා මෙහිදී තවදුරටත් කියන්නේය. 


මෙකීකාරණාවන් සියල්ල කොරීඩා මෙහිදී සිත දැහැන් ගතවන අයුරින් කාව්‍යාත්මකවත් භාවාත්මකවත් සිනමාපටය තුල භාෂණයට යෙදෙන්නේය . ඔහු මෙහිදී මවන රූප නෙතට රසදුනකි.  කොරීඩාගේ අනන්‍ය සිනමා වහර , ආඛ්‍යානය වන්නේ එයය්. ඒ ආනුභාවයෙන් කලාත්මක පරිසමාප්තියට පත් වූ තවත්  සෞන්දර්යාත්මක , විචක්ෂණශීලී , භාවාත්මක සිනමා ගනුදෙනුවකි Our Little Sister 


                                        🖊️ හිරුෂ කසුන්

Comments

Post a Comment

Popular Posts