Mystic River ( 2003)
Mystic River ( 2003)
| තෝරාගැනීම් උපරිමාධිකරණය වූ කල.. |
මෙලොව තර්ක නැත්තා වූ අවිවාදිත එක් පිළිගැනීමක් , ධර්මතාවක් වෙය්. එනම් වෙනස් වන්නා වූ ලොව නොවෙනස් වන එකම දෙය වෙනස් වීම බවය්. මනුශ්‍ය ජීවිත උදෙසාද මෙකී ධර්මතාව අත්‍යන්තයෙන්ම පොදුය. මනුශ්‍ය ජීවිත පරිවර්තනය වීමද පෙරයීම් කල නොහැක. කිනම් හෝ අවස්ථාවක කිනම් හෝ කර්ණයකින් මනුශ්‍ය ජීවිත හොදට හෝ නරකට පරිවර්තනය වන්නේය.
නමුත් එක් දෙයකි. මනුශ්‍ය ජීවිත පරිවර්තනය වීම ඔවුන්ගේ තෝරාගැනීම් මත වන්නකි. නමුදු අනපේක්ෂිත අවස්ථාවන්හි යමෙකුට මුහුණ පාන්නට වන අනපේක්ෂිත පරිස්ථිතීන් මත ඔවුන්ගේ තෝරා ගැනීම්හි අය්තිය ඇහිරෙන්නේ ජීවිතයම අදුරට ඇද දමමිනි. එකල්හි ඔව්න්ගේ ජිවිත වල පරිවර්තනය වීම වනුයේ එකී සිදුවීමෙහි බලපෑම මතය.
ජිමී , ඩේව් හා ශෝන් කුඩා කල සිටම කුළුපග මිතුරන් තිදෙනෙකි. දිනක් අනපේක්ෂිත අයුරින් අපයෝජනයට ලක් වන ඩේව්ගේ දිවියම මහත් වූ පරිවර්තනයකට ලක්වනුයේ ඔහුගේ දිවියම මනෝව්‍යාදියෙකු ලෙසත් , සමාජ ආශ්‍රයෙන් මිදී අදුරට ඇද දමමිනි. ජිමී කල්යත්ම අපරාධකරුවකු හා මැරයෙකු ලෙස පරිවර්තනය වන අතර ශෝන් පොලිස් නිලධාරියෙකු ලෙස සේවයට එක්වෙය්.
ජිමීගේ දියණිය මේ අතරවාරයේදී අභිරහස් අයුරින් ඝාතනය ලක්වනුයේ කවරෙකුවත් නොසිතූ පරිද්දෙනි.
Mystic River හි ඩේව්ට ඔහුගේ දිවියෙහි පරිවර්තනය තෝරා ගැනීමේ හිමිකම ඔහුට හිමි වුයේ නැත. ජිමීට ඔහුගේ තේරීම් මත ගතානුගතික පරිවර්තනයක් දිවියෙහි උරුම වුවද එය වූයේ යහපත් අතට නොවේ ශෝන් යහපත් අතට දිවිය පරිවර්තනය කර ගත්තද ඔහුගේ දිවියම අවුල් ජාලයකි. මනුශ්‍ය ජීවිත අතිශය සංකීර්ණය. ඔවුන්ගේ සිතිවිලි , මනෝභාවයන් ද අතිශය සංකීර්ණ හෙය්න් කිසි ලෙසකවත් අපට මනුශ්‍ය ජීවිත පෙරයීම් කල නොහැක්කේය.
ජිමීගේ දියණියගේ ඝාතනයද කවරෙකුවත් පෙරයීම් කල සිදුවීමක් නොවේ . ඇගේ ඝාතකයාද එලෙස පහසුවෙන් පෙරයීම් කල හැක්කෙකුද නොවේ. Mystic River හි කතාන්දරය වනුයේ ජිමීගේ දියණියගේ අභිරහස් ඝාතකයා සෙවීමය්. නමුත් මා එය එලෙස නොකියා මිතුරන් තිදෙනෙකුගේ දිවියෙහි පරිවර්තනය වීම් හා පරිස්ථිතීන් ගෙන සදහන් කලේ මන්දැය් ඔබට ගැටලුවක් වන්නට ඇත.
මා එලෙස සදහන් කිරීමට කර්ණය වූයේ ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ Mystic River සිනමා භාෂණය අභිරහස් ත්‍රාසජනක කතාන්දරයක් ප්‍රස්තූත කල ගත් චිත්‍රපටයක් තුලින් අදුරු අළු මනුශ්‍ය ජීවිත විවරණය කිරීමක් මෙන්ම ඔව්න්ගේ ජීවිතයන්හි සංකීර්ණතා , ඔවුන්ගේ සංකීර්ණ මනෝභාවයන් මෙන්ම ඔව්න්ගේ තෝරාගැනීම් හා තීරණ ඔවුන්ට උරුම කරන ඛේදනීය වාතාවරණය විවරණය කිරීමක් හෙය්නි. චිත්‍රපටයහි අත්‍යන්තයෙන්ම විශිෂ්ඨත්වය මෙන්ම අනන්‍යතාව වනුයේ එයය්. අභිරහස් ත්‍රාසජනක චිත්‍රපට අතරින් Mystic River යනු ප්‍රතිභාත්මක සිනමා භාෂණයක් වනුයේ එහෙය්නි.
මානවවාදී සිනමාකරුවෙකු වන ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ සිනමාවේ අනන්‍යතාව වනුයේ මනුශ්‍ය ජීවිතයන්හී සංකීර්ණතා හැගීම්බර අයුරින් විවරණයය්. අළු චරිතයන් හට මානවවාදී දෘෂ්ටි හෙලමින් චරිතයන්හී මනෝභාවයන් නරඹන්නාගේ ඇටමිදුලු වල කා වැද්දීම ඊස්ට්වුඩ්ගෙ සිනමා විලාශයය්. මෙහිදීද ඊස්ට්වුඩ් එය අකුරටම කරන්නේය. අසම්පූර්ණ මිනිසුන්ගේ ඛේදවාචකයක් අරඹයා සර්වසම්පූර්ණ චිත්‍රපටයක් ක්ලින්ට් තනන්නේය.
නරඹන්නාට අනුකම්පාව ජනිත වන්නා වූ අයුරින් ක්ලින්ට් මෙහි පීතෲත්වය රෝපනය කරන්නේය. සිය අතීත කල්කිරියාව කර්ණයෙන් දියණියට ඝාතනයකින් අවසන් වන ඛේදජනක ඉරණමක් හිමිවූවේදැය් සිතමින් වියරුවන්නා වූ මෙන්ම පසුතැවෙන්නා වූ ජිමී , සිය දියණිය කුඩා කල පටන් ඈට පීතෲ සෙනහස ලබා නොදුන්නාටද පසුතැවෙන්නෙකි. දරුණු චරිතයක් ලෙස සමාජයට අපරාධකරුවකු වුවද ඒ වෙනුවෙන් සිතින් මෙන්ම මුදලින් රහසින් වන්දි ගෙවන්නා වූ සංවෘත චරිතයකි. ක්ලින්ට් මෙහිදී ජිමී උදෙසා අළු ආරෝපණයක් ලබා දෙනුයේ එලෙසය. ජිමී ආත්මීය කරනු වස් ශෝන් පෙන් ගේ රංගනයද උත්කෘෂ්ඨය.
සැකය යනු මිත්‍රත්වය හෝ වේවා දෙමාපියත්වය හෝ වේවා කිනම් හෝ මානව සබදතාවකට නැවත්විය හැක්කක් නොවේ. සැකය පිලිකාවක් ලෙසින් මනුශ්‍ය සිතිවිලි ආක්‍රමණය කරන්නේය ක්ලින්ට් මෙහිදී එම න්‍යාය බොටුවෙන්ම අල්ලා ගන්නේය. කතාන්දරයට කුතුහලය දෝලනය කරවනු වස් රදවා ගන්නා අතරම තෙමිතුරන්ගේ මිත්‍රත්වය දෙදරා යෑමෙන් ඇතිකරන්නා වූ ඛේදාන්තය නරඹන්නාට මහත් වූ වේදනාත්මක හැගීමක් ජනිත කරවමින් සිනමාවට ගෙනෙන්නේය.
අතීතකාමය ඇතිකරන්නා වූ පසුතැවීම් , වර්තමානය ඇතිකරන්නා වූ උභතෝකෝටිකයන් හා ශේෂ කරන්නා වූ පසුතැවීම ප්‍රධාන චරිතයන් තුලින් එලියට ඇද දමන ක්ලින්ට් සියල්ල තිරය මතට රෝපනය කරනුයේ හුදෙක් අභිරහස් ඝාතනයකට එහා ගිය අදුරු සමාජීය මිනිසුන් තිරයට ගෙනෙමිනි. චිත්‍රපටය නරඹන්නාට මහත් වූ වේදනාවක් ශෝකයක් මෙන්ම චරිත උදෙසා අනුකම්පාවක් ඇතිකරනුයේ එහෙය්නි. එලෙසම අපරාධයකට දඩුවමක් ලබා දීම සැබවින්ම සර්වසාධාරණද යන්නද ක්ලින්ට් මෙහිදී විමසන්නේය. එය සමාජීය වශයෙන් සාධාරණ යැය් පෙනුනද දඩුවමට බදුන්වන්නා හා ඔහුගේ පරිවාරයේ කෝණයෙන් කෙතරම් දුරට සාධාරණදැයි ඊස්ට්වුඩ් මෙහිදී විමසා බලන්නේය.
ඉක්මන් හැම විටම කොටය. ක්ෂණික තීරණ සැමවිටම කිසිවෙකුට සුගතියක් අත් කිරීමට තරම් දිග නැත එය හැමවිටම දුගතියකි. සැකයට ආවඩා ගන්නා ක්ෂණික තීරණයන් කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කල නොහැක . කල හැක්කේ එය මුග්ධ අනුවණ කමයැය් වරනගා අතපිහා ගැනීම පමණි. ඊට දඩුවම් දෙනුයේ පසුතැවීමය් . හෘදසාක්ෂියය්. චිත්‍රපටය මුල සිටම කිසිදු චරිතයක් සාධාරණීකරණයට ලක් නොකල ඊස්ට්වුඩ් චරිතයන්හී ශෝකී විකාශනයට දෛවය මත දෙස් දෙවොල් තියන්නේය. අවසානයේදී දෛවය මෙන්ම හුදු සැකයත්, ක්ෂණික තීරණයන් හා තෝරාගැනීම් චරිතයන්හි ඇතිකල ඛේදාන්තයත් සෙසු චරිතයන් උදෙසා ශේෂ කරන්නා වූ පසුතැවීමත් චිත්‍රපටය තුල ඉතිරිකරන්නේය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment