Minari ( 2020)



 Minari ( 2021)


ආගන්තුක ඉසව්වක සිහින හඹා යන්නෝ..


සිහින සාක්ශාත් කරගනු වස් ජීවිතය තුල යම් අවධානමක් ගැනීම අත්‍යන්තය. ජීවිතය කිසි ලෙසකින් වත් විල්ලුද අතිරූ යහනක් නොවන හෙය්න් තම තමන්ගේ ස්ව සිහින සාක්ෂාත් කරගනු වස් අවධානමක් හෝ අභියෝගයක් නොගෙන කෙසේද ? මිනාරි හි දිග හරිනුයේද සරල මෙන්ම සැනසිලිදායක අනාගතයක සිහිනයක් උදෙසා ආගන්තුක ඇමරිකානු පිටිසරක නව දිවියකට මුල පිරූ කොරියානු පවුලක අභියෝගාත්මක වූ සිහින හඹා යෑමය්.


ඇමරිකාවට සංක්‍රමණය වූ කොරියානු යුවලක් වන ජේකබ් හා මොනිකා කැලිෆෝනියාහී කලක් ජීවත්වන දෙපලකි. ඔවුන්ගේ දරු දෙදෙනා වූ ඩේවිඩ් හා ඈන් සමග කැලිෆෝනියාහී වුවද කොරියානුවන් සමගින් හොදින් කල් ගෙවු ඔව්හු Arkansas වෙත පැමිණෙනුයේ ජේකබ්ගේ සිහිනයක් වූ Arkansas හී වගා කරමින් සරල සැනසිලිදායක දිවියක් ගත කිරිම සාක්ශාත් කරගැනීමටය. 


අධ්‍යක්ෂක Lee Issac Chang තැන මෙහිදී ඔහුගෙ අවධානයේ බහුතර බර දී ඇත්තේ මෙම කොරියානු පවුල ආගන්තුක ඇමරිකානු පරිසරයෙහි ස්ථාවර වීමටත් ඔව්න්ගේ සිහිනයන් හඹා යෑමටත් ඇතිවන අරගලයටය. පවුලේ අඹුසැමි මත ගැටීමටය. ඇමරිකානු පරිසරය තුල තමන්ගේ අනන්‍යතාව සලකුණු කිරීමට කොරියානු පවුල දරණ වෑයමටය. 


මෙය Lee Issac ගේ සෙමි බයෝග්‍රැපියය්. එහෙය්න් සියලු ගැටලු වලට ප්‍රධාන විසදුම ලී මුල සිටම ග්‍රහණය කරගනුයේය. ඔහු සම්පූර්ණ සිනමාපටයම යථාර්තයට සමපාත කරනුයේ ඒ අයුරෙනි. ඇමරිකානු සිහින රාජ්‍ය තුල දිවිය අත්‍යන්ත සරල මෙන්ම ස්වශක්තියෙන් සාර්ථක විය හැකියැය් සිතුවද එය සිතන තරම් යථාර්තයේදී සරල නොවේ. එසේම ආගන්තුක  සමාජයක් තුල තමාගේ අනන්‍යතාව අභියෝගයට ලක්වේ යැය් සිතුවද තමාගෙ අනන්‍යතාව අභියෝගයට ලක්වනුයේ තමා තුලින්ම බව Issac මෙහිදී කියන්නේය.


කුටුම්භික සබදතා කෙරෙහි අපූර්ව අවධානයක් Issac මෙහිදී ලබා දෙනුයේය. කොරියානු මාපියන් උවද ඇමරිකාව තුල ඉපදී හැදී වැඩුන කුඩා ඩේවිඩ් ඔහුට ආගන්තුක චරිතයක් වූ සිය මිත්තනිය සමග ගොඩනගා ගන්නා සබදතාවෙහි සංවේදී ගතිකත්වය මහත් වූ සංයමයෙන් Issac සිනමාවට ගෙන එන්නේය.


 ආගන්තුක පරිසරයක දිවිය අභියෝගාත්මක මෙන්ම  කටුක වේ යැය් බියෙන් සැමියා වන ජේකබ්ගේ Arkansas වගා සිහිනය නිරන්තරයෙන් ප්‍රශ්න කරන බිරිද මොනිකා . තමාගේ අභිප්‍රායන් කෙසේ හෝ සාක්ෂාත් කරගනිමින් පවුලට සරල , සැනසිලිදායක දිවියක් උදා කරලීමට වෙහෙස වන ජේකබ් මෙන්ම තම මුනුබුරා සමග යහපත් සබදතාවක් ගොඩනගා ගනුවස් වෙරදරන මිත්තනිය Issac විසින් විනිවිද දකින්නේය. එය විටක හාස්‍යජනක මෙන්ම විටක හැගීම්බර වෙමින් එකී චරිතයන් තුලට එබී බලනට ඉසක් නරඹන්නා පොළඹවන්නේය. 


මෙයය් ජීවිතය. ජීවිතය යනු තමා තුලින් තම පරිවාරය තුලින් තමාව සොයා ගැනීමය. තමාගේ අනන්‍යතාව සොයා ගැනීමය. සමාජය තුල තමන්ගේ අනන්‍යතාව අභියෝගයට ලක්වේ යැය් ඇතිවන විචිකිච්චාව සංසිදී ජීවිතයට මුහුණ දිය හැක්කේ ඉන් ඉක්බිතිවය . අත්‍යන්ත වනුයේ වැටීම් හැලහැප්පීම් මද්දේ හෝ තමාගේ සිහිනය හා අභිලාෂයන්  හඹා යාමය.


Issac නිර්මාණය කල ජේකබ් පවුලේ ඇමරිකානු සිහිනය කාව්‍යාත්මක සිනමා භාෂණයක් වනුයේ එහෙය්නි. මන්ද යත් ඔහු විනිවිද දකිනුයේ තමාගේ සිහින ජීවත් කරන්නට තනන ජීවිතයන්ය. ඔවුන්ගේ පෙරයීම් කල නොහැකි අභියෝගාත්මක අනාගතයය. සිතන පතනාකාරයෙන් කිසි ලෙසකවත් සිදු නොවන පැහැදිලි යථාර්ථයය. තම පරිවාරය තුල මෙන්ම සමාජය තුලද තමාව සොයන්නන්ය.විටක ටැරන්ස් මලික් නම් අසහාය සිනමාකරුවාගෙ සිනමා ආඛ්‍යානය සිහිපත්කරවන සිනමා භාෂණයක හිමිකරුවෙකු වූ Issac Chang ගේ  මිනාරි සැබවින්ම  යථාර්තවාදි කාව්‍යාත්මක රූපමය පෙලහරක් ලෙස වර්ණනා කරනුයේ එහෙය්නි


                                                🖊️ හිරුෂ කසුන්

Comments

Popular Posts