Luca ( 2021)
Luca ( 2021)
| නිදහස යනු |
සමාජගත වීම යනු එකිනෙකා හා මුහුවීමය. බොහෝ සමාජ ඝට්ටනයන් උද්ගත වනුයේ මෙකී මුහුවීම ගැටලුවක් වූ කලය. මුහුවීම ගැටලුවක් වීම උදෙසා බොහෝ කර්ණයන් හේතු විය හැක්කේය. සමාජයේ බහුතරය සමග සිය සංස්කෘතිය වෙනස් වීම මෙන්ම සිය අනන්‍යතාව සමාජයට ආගන්තුක වීම කර්ණයෙන් ගැටලු මතුවේයැය් විචිකිච්චාවෙන් සමාජයට මුහුනොවීම මින් ප්‍රධානය. Luca හී ෆැන්ටසිමය සජීවිකරණ විමසා බැලීම මේ අරබයාය .
ස්ව නිදහස මෙන්ම ස්වප්නයන් සාක්ශාත් කරගනු වස් ගොඩබිම නගරයකට පැමිණෙන මුහුදු රකුසන් දෙදෙනෙකු මෙවර ලුකා හී කතාප්‍රස්තූතයය්
සමාජයක සංස්කෘතිය මත සිය ආගන්තුක අනන්‍යතාව අභියෝගයට ලක් වේ යැය් බියෙන් සමාජයෙන් වෙන්ව මුලුගැන්වීම මෙන්ම ස්ව සිහින සැබෑ කරගැන්මට ඇති උනන්දුව මැඩලමින් දිවි ගෙවීම නිදහස ලෙස වරනැගිය නොහැක. නිදහස යනු ස්ව අනන්‍යතාව සමාජයෙන් සොයා ගැන්මත් , සිහින යථාර්ථයක් කරගනු වස් ජීවිතය තුල යුහුසුළු වීමත්ය. සැකයකින් තොරව ජීවිතය විදීමය. සෑම මොහොතකම නිදහස ආශ්වාස කල හැක්කේ සිහින හඹා යෑමට ඇති අනියත බිය ප්‍රාශ්වාස කල පසුවය.
මිත්‍රත්ව සහසම්බන්ධතාවයෙහි භූමිකාව අවැසි වනුයේ මෙහිදීය. මිත්‍රත්වය යනු එකිනෙකාගේ සිහින සැබෑ කරගනු වස් සහයෝගී වීමය. ඊට අවශ්‍ය දිරිගැන්වීම ලබා දීමය. එකිනෙකාගේ සිහිනයන් තුල ජීවත් වීමටත් සමාජය තුල එකිනෙකාගේ අනන්‍යතාව සොයා යනු වස් සහයෝගී වීමය. ලුකා හී මෙකී මිත්‍රත්ව කර්ණය අපූර්ව ලෙස නිර්මිතය.
සිහින සාක්ෂාත් කරගනු වස් සමාජය හා ගැටෙන්නෝ, අභියෝගයන්ට මුහුණ දෙන්නෝ ස්ව අනන්‍යතාව සොයා ගන්නෝය. ආගන්‍තුක විචිකිච්චාවකින් තොරව සමාජයට නිර්භයව මුහුවන්නෝය. ආත්මීය නිදහස සොයා ගන්නෝය. පික්සාර් හි ෆැන්ටසිමය කතාන්දරයෙහි හරය එයය .
පික්සාර් සමාගම වර්තමානයේ සජීවිකරණ චිත්‍රපට අතර නොමැකෙන නාමයක් තබා අවසන්ය. නරඹන්නාට සමීප ප්‍රස්තූතයන් ෆැන්ටසිමය සජීවිකරණ චිත්‍රපට තුලින් ඉදිරිපත් කරනු වස් පික්සාර් නිර්මාණකරුවන් සැබවින්ම ඉදිරියෙනි. ඉතාලි සංස්කෘතික හුරුවකින් නිමවූ Luca ද පික්සාර් නිර්මාණකරුවන් එලෙස ඉදිරියෙන් සිට නිර්මාණය කල ආත්මීය නිර්මාණයකි
🖊️ හිරුෂ කසුන්



Comments
Post a Comment