Kiki's Delivery Service (1988)


 Kiki's Delivery Service ( 1989)


        |මහා සජීවිකරණ  සිනමාකරු හයාඕ මියාසකි Kiki's Deliver Service  තුලින් ජපාන සංස්කෘතික සමාජමය පෙරලියෙහි ගුණ අගුණ භාෂණයක.| 


.


ජපාන සජීවිකරණ සිනමාකරු Hayao Miyazaki එදත් අදත් සජීවිකරණ සිනමාකරුවන්ට මහත් වූ ආදර්ශනයකි . ප්‍රබල සජීවිකරණ සිනමා බසක සාඩම්බර පෞඩ හිමිකරුවෙකු වන මෙකී ප්‍රතිභාපූර්ණ සිනමාකරුවා එදා සිට අද තෙක්ම සජීවිකරණ සිනමාවට ජපන් ඇනිමේ ආකෘතිය ලොවට ගෙනයමින් කල සිනමාමෙහෙය මහමෙරකි.


මියාසකි ගේ සජීවිකරණ සිනමා භාෂණයේ විශිෂ්ඨත්වය වනුවේ ඔහුගේ නිර්මාණයන් තුලින් ඔහු විවරණය කරන්නට යෙදෙන්නා වූ සමාජමය ප්‍රස්තූතයන් ය. ෆැන්ටසිමය සෞන්දර්යාත්මක සජීවිකරණ සිතුවම් දාමයන් අය්සින් ලෙස තවරමින් ඔහු විසින් සෑම නිර්මාණයකම කිනම් හෝ සමාජමය ප්‍රස්තූතයක් විනිවිද දකිමින් , සියුම් විවේචනාත්ම ශෛලයකින් යුතුව සිනෙරුවෙහි යටි පෙලෙහි විවරණය කරන්නට යෙදෙන්නේය. මියාසකි ගේ ෆැන්ටසිමය සජීවිකරණ සිනමාව අතිශය යථාර්තවාදි සජීවිකරණ සිනමාවක්ය යන්න හදුන්වන්නේ එහෙය්නි.


ජපාන ආර්ථික පෙරලියෙහි යම් යම් කාරණා කර්ණ කොට ගනිමින් අනූව දශකයෙහි ජපාන ආර්ථික බිදවැටීම අරබයා පෙරයීම් කල හැකි කාලවකවානුවක් වූ අසූව දශකයෙහි අගබාගයේ හි තිරගත කරන්නට යෙදුන Kiki's Delivery Service නම් මියාසකිගේ අපූර්ව සජීවිකරණ සිනෙරුවෙහිද මියාසකි විසින් සිය අනන්‍යතාව තබනුයේ එකල ජපාන සමාජ , සංස්කෘතික හා ආර්ථික පෙරලිය සංඛේතානුසාරයෙන්  විවේචනාත්මකව විවරණය කරමිනි .


මෙහිදී මියාසකියන් ජපාන සමාජ සංස්කෘතික පෙරලිය ඔහුගේ ප්‍රස්තූතය කොටගන්නේය. නමුත් ඔහුගේ අනන්‍ය සිනමා භාෂණය තුල මියාසකි කිසිවිටකත් ප්‍රස්තූතයන් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් නොකරන අතර ෆැන්ටසිමය කතාන්දරයක් තුල ප්‍රස්තූතය සංඛේතාත්මකව ප්‍රේක්ෂකයා හට අභිමුඛ කිරීම මියාසකිගෙ සිනමා ආඛ්‍යානය වන්නේය. මෙහිදීද නරඹන්නාට මියාසකිගේ එකී අපූර්ව සජීවිකරණ  සිනමා ආඛ්‍යානයෙහි පහස නොඅඩුව ලැබෙන්නේය. 


කිකී යනු මායාකාරියකි. ඈට වයස අවුරුදු 13කි. සම්මතය අනුව මායාකාරියන් එකී වයසට එළඹි විට නිවසින් පිටත්ව වෙනත් නගරයක තනිව මායාවන් ප්‍රගුණ කරමින් ජීවත් විය යුතුය. එහෙය්න් කිකීද නිවසින් යන්නේය. ඈද ඈට ආගන්තුක නගරයක තනිව වෙසෙන්නට අරඹන්නේය. 


සංඛේතාත්මකව කිකී හා ඇගේ උරුමයෙන් ප්‍රගුණ කරන ලද මායාවන්  වනුයේ පෞඩ ජපාන සංස්කෘතිය ය. ජපානය පෞඩ අතීතයක උරුම කරුවන් වනුවේ එකී අපූර්ව ජපාන සංස්කෘතියෙහි අනුභූතියෙනි. මියාසකි එකී කරුණ මෙහි පුන පුනා කියන්නේය. 


සමාජය තුල පව්ල් සංකල්පය බිදවැටීම , නගර බටහිර කරනය වීම හා පුලුල් ආර්ථික ව්‍යුහය ජපනුන්ගෙන් මනුශ්‍යත්වය දුරස් කිරීම. ජපාන පෞඩ සංස්කෘතිය තව දුරටත් වානිජමය තොරම්බෝල් වලට පමණක් සීමා වීම ආදී ජපාන සමාජමය , සංස්කෘතික කලියුගයක් මියාසකි මෙහිදී විනිවිද දකින්නේය.


මියාසකියන් ගේ මෙම සජීවිකරණ සිනමා භාෂිතය සංස්කෘතිකමය කලියුගයන් අත් දුටු , අත් විදින්නා වූ අප වැනි ආසියාතිකයන්ටද අනුගත කරගත හැක්කේය. මෙහි යථාර්තවාදී මෙන්ම සර්වකාලීන භාවය එයය.


මියාසකි මෙහි අන්තර්ගත කල අපූර්ව එක් සංවාදයක් වෙය්.   "ඔබට තවදුරටත් පියාඹිය නොහැකි නම් ඇවිදන් යාමට හුරුවන්න." ජපාන සංස්කෘතික මිනිසා හට තවදුරටත් ඒ ආකාරයෙන් ම පැවත්මක් නැති වූ කල්හි ඔහුට සිදුවනුයේ අකමැත්තෙන් වුවද පවතින සමාජක්‍රමයට හුරුවීමටය. එය සැබවින්ම ඛේදවාචකයකි. නමුත් නව සමාජක්‍රමයෙහි වුවද ඇතිවන කිනම් ගැටලුවකදී වුවද විසදුම ඇත්තේ පුරාණ සංස්කෘතික ක්‍රමවේදයන් තුල බව මියාසකි මෙහිදී කියන්නේය. සමාජමය පෙරලිය ඛේදයක් වූ කල්හි ඉන් මිදීම අරඹයා අනන්‍ය සංස්කෘතික   ක්‍රමවේද හැරෙන්නට අන් විසදුමක්.නොමැති බවත් . රටකට අනන්‍යතාවක් ගොඩ නගා ගනිමින් සාර්ථකත්වයට පත් විය හැක්කේ ඉන් පමණක් බවත් මියාසකි Kiki's Delivery Service තුලින් පසක් කරනුයේය.


මියාසකි මේ සදහා අතිශය ප්‍රබල සංඛේතරූප භාවිතා කරන්නේය. මියාසකිගෙ මෙම ෆැන්ටසිම ප්‍රබන්ධයම සංඛේතාත්මක ඉදිරිපත් කිරීමකි. එසේම අතිශය විග්‍රහශීලී සංවාදයන් මෙහිදී මියාසකි යොදාගන්නේය. ඔහුගේ ෆැන්ටසිමය කතාන්දරය තුල ඔහු ප්‍රස්තූත කොටගත් ජපාන සමාජ සංස්කෘතික පෙරලිය අපූර්ව ලෙස මොහොතින් මොහොත ලිහන මියාසකියන් මෙහිදීද නරඹන්නාට සමීප කරනුයේ අත්‍යන්තයෙන්ම සෞන්දර්යාත්මක , උත්‍කෘෂ්ඨ  සජීවිකරණ සිනමාපහසකි

                                 

                                                    🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts