Promising Young Women (2021)


 Promising Young Women ( 2020)


කැසී වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය අතරමග නවතා කෝපි හලක සේවයේ නියුතු තරුණියකි. ඇය ගුප්තය. යම් කුරිරු අභිලාෂයක් සාක්ෂාත් කරගනු වස් යම් යම් දරදඩු දෑ කරනුයේය .


ප්‍රොමිසින් යන්ග් වුමන් හි කතාන්දරය පැවසීමට උචිතම ක්‍රමය වනුයේ එයය. මන්ද යත් කතාන්දරය සැකෙවින් කීමේදී රසය වැඩි වනු පිණිස මා දමන ලුණු ගම්බිරිස් වලින් කියවීම රස නමුදු සිනමාපටය නැරඹීමේදී එය විශාල බාධාවක් හෙය්නි. කතාන්දරය පිලිබදව හාන්කවිසියක් නොදැන ඔබ නැරඹිය යුක්තකි මෙය.


ස්ත්‍රීත්වය තරම් අභියෝගයට ලක්වන්නා වූ වෙනත් යමක් සොයා ගැනීම උගහයට. එහෙය්න් ස්ත්‍රියට සමාජය තුල ඇත්තෙ අමුතුම ආකාරයේ ගරුත්වය අරභයා වූ අරගලයකි. සාම්ප්‍රදායික උපන්ගෙය් මුග්ධයන්ට ගෝචර නොවූවද පරම සත්‍ය එයය. මෙයට ප්‍රොමිසින් යන්ග් වුමන් ගෙන එන්නෙ අපූර්ව කියවීමකි


සරලව කියතොත් මෙම ප්‍රස්තූතය සිනමාකරුවන් විසින් හෝද හෝද මඩේ දමමින් නිර්මාණකරනයට උපයෝගී කරගත්තකි. එහෙය්න් ස්ත්‍රීත්වය , හෝ ස්ත්‍රී ගරුත්වය පිලිබදව හෑලි සිනමාපටය ඉදිරි කොටගෙන ලිවීමෙහි උවමනාවක් මට නැත. එබැවින් එසේ නොකරමි. කෙසේ වෙතත් Emerald Fennell ගේ ප්‍රොමිසින් යන්ග් වුමන් මෙම ප්‍රස්තූතය  සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අතිසාර්ථකත්ව සිනමාවට නගා ඇත්තේය. මෙම චිත්‍රපටයහි මූලිකම වටිනාකම එයය.විශිෂ්ඨත්වය එයය


ප්‍රොමිසින් යන්ග් වුමන් තිරපිටපත ඔස්කාර් දින්නේය. සැබවින්ම එය සුදුසුය. මන්ද යත් සිනමාකරුවන් පට්ට ගැසූ මෙවන් ප්‍රස්තූතයක් මෙතරම් අපූර්ව ලෙස. මෙතරම් විවෘත ලෙස , අමුතුම හැඩයකින් ප්‍රේක්ෂකයා හට අභිමුඛ කිරීම අගය කල යුතු නිසාවෙනි.


කතාන්දරය ඇරඹුමේ සිට ඇදෙනුයේ ඛේදාන්තයකටය. සිනමා සංකේත භාවිතයෙන් මෙහි අධ්‍යක්ෂිකා  Emerald Fennell    එය මුල සිටම නරඹන්නාට ඉගි පල කරන්නේය. මෙවන් කතාන්දර සුඛාන්තයකින් අවසන් වුවහොත් එය බොහෝ විට විහිලුවකි. තවදුරටත් ගැලරියට ආතල් නොදී මෙය ඛේදාන්තයකින් අවසන් කොට යථාර්ථයට සමපාත වූවාට ඈට උපරිම ගෞරවය ලබා දිය යුතුය. 


තිර රචනය තුල ඈ සාර්ථක ලෙස සියලුම චරිත නිර්මාණය කර ඇත. ඔවුන්ගේ සෑම ක්‍රියාවකටම ඈ විසින් අත්‍යන්තයෙන් ම ප්‍රබල ලෙස හේතු දක්වන්නේය. දෙවියන්ට දුක ඇසී හෝ දුක හිතී මෙන් තිරපිටපත තුල ප්‍රාතිහාර්ය පාන්නන් නැත. හැසිරීම් අනන්‍යය. සෑම චරිතයකම අනන්‍ය මනෝභාවයන් ඇය චිත්‍රපටය අවසානය තෙක් තබා ගන්නේය . මෙවන් සිනමාපට වලට සැබවින්ම ආදුනික අදුරු ප්‍රහසනය ඇය මෙහිදී සාර්ථකව භාවිත කරන්නේය. සියලුම දර්ශන මනා සංයමයකින් ඉදිරිපත් කරන්නේය. ප්‍රාථමිකත්වයෙන් ඔබ්බට ගිය සිනමා සංඛේත භාවිතා කරන්නේය. සියලුම දර්ශන අතිශයොක්තියෙන් බොහෝ දුරය.


මෙහි සංගීත සංයෝජනය මම බලාපොරොත්තු වූවටත් වඩා රැඩිකල්ය. විශිෂ්ඨය. නැවුම් ය. අවසානයේ Angel Of The Morning  ගීතයට අපූර්ව හැඩයක් එක්කොට තිබීම මෙය ට්‍රැගඩියක් වුවද බ්ලැක් කොමඩියක් බව යලි යලිත් ප්‍රේක්ෂකයාට දැනුම් දෙන්නේය. සියලුම පසුබිම් වාදන කණ්ඩ අතිශය තියුණුය.


වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙය අපූර්ව නිර්මාණයකි. ස්ත්‍රීවාදය ගෙන නරිවාදම් ගසමින් , නිරුවත මාකට් කරන්නා වූ අවරගනයේ චිත්‍රපට වලට ආදර්ශනයකි. ස්ත්‍රීවාදය හෝ ස්ත්‍රී පලිගැනීම් හෝද හෝද මඩේ දමමින් , නරිවාදම් ගයමින් තිරයට ගෙන එන මකබාස් සිනමාකරුවන්ට ප්‍රොමිසින් යන්ග් වුමන් යනු සරසවියකි. ප්‍රොමිසින් යන්ග් වුමන් එතරම් නැවුම්ව සිනමාවට නගා ඇති චිත්‍රපටයකි. ඒ හැරත් ඇරඹුමේ සිටම අවසන තෙක් කුතුහලය උපරිමයෙන්‍ රදවා ගනිමින් නැරඹිය හැකි චිත්‍රපටයකි මෙය.


                                                 🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts