12 Suicidal Teens
#SpoilerAlert
12 Suicidal Teens
ඔබේ ජීවිතය ජීවත් කරවීම ඔබේ වගකීමකි !
අතහැර දැමූ රෝහල් ගොඩනැගිල්ලකට එක් වන තරුණ තරුණියන් 12 දෙනෙකි. යම් පුද්ගලයෙකුගේ මාර්ගෝපදේශනය මත සේප්පුවක් ඇර අංක ළබාගෙන ඔවුහු එක් කුටියකට රැස් වෙති. එම කුටියෙහි ඇදන් 12 කි. ඉන් එක් ඇදක නිදා සිටින තැනැත්තෙකි. මෙම රැස්වීම කුමක් අරබයාද ? , රැස්වීම් කුටියෙහි නිදා සිටින තැනැත්තා කවරෙක්ද ?
ඉහත පූර්විකාවහි මා විසින් හදුන්වාදීමට තැනුයේ 12 Suicidal Teens නම් අපූර්ව ජපන් අභිරහස් ත්‍රාසජනක සිනෙරුවෙහි කතා ප්‍රස්තූතයය. ජපනුන් සිනමාවට ආරම්භයේ සිටම අපූර්ව ප්‍රස්තූතයන් ගෙන ආවෝය. අදටද සිනමාව තුල ඔවුන්ගේ අනන්‍යතාව රැක ගනිමින් ඔවුහු නිරන්තරයෙන් පරීක්ෂන කරන්නෝය. ජපන් ත්‍රාසජනක සිනමාවද කලාත්මක පරිසමාප්තියට පත්ව ඇත්තේ සිනමාකරුවන් එසේ සිදුකරන්නා වූ සිනමා අත්හදාබැලීම් වල ප්‍රතිපලයක් ලෙසය. 12 Suicidal Teens ද එලෙස ජපන් ත්‍රාසජනක සිනමාව තුල නිමවුන අසමසම සිනෙරුවක්ය.
12 Suicidal Teens යනු ඇරඹුමේ සිටම පැටලුණ නූල් පන්දුවකි . සිනෙරුව කාලය වැයවත්ම පැටලුණ හුයක් හුයක් පාසා අතිශය සූක්ෂම ලෙස පැටලුමෙන් මුදවන්නේය. මෙය නරඹන්නාට ඉතාමත් ආශ්වාදජනක තත්වයකි. ඇරඹුමේ සිටම නරඹන්නාට ගැටලු රැසකි. සිනමාපටයහි හදුන්වාදෙන තරුණ චරිත දොළහටද එකී ගැටලුම ඇත්තේය. සිනමාපටයෙහි චරිතයන් විසින් එම ගැටලුව විසදන මොහොතේම නරඹන්නාගේද ගැටලුව විසදෙන්නේය. සීමිත සිද්ධීන් අතලොස්සක් සීමිත වපසරියක ලෙහා ගනු තනන මෙම ගැටලු සමුදාය සිනමාපටය අතිශය කුතුහලය තුලින් ඉදිරියට ගෙන යනුයේ සිනමාකරුවා විසින් නරඹන්නා ඉලක්ක කරමින් අති සූක්ෂම ලෙස ඔහුගේ කාර්‍යයද සිදුකරගන්නා අතරය.
ජපන් තරුණ තරුණියන් විසින් යම් යම් හේතුවලට ඉතා වැඩිවශයෙන් දිවිනසා ගැනීමට පෙළඹෙන්නේය. මෙය රටක් ලෙස ජපානයට ඉමහත් ගැටලුවකි. එහෙය්න් ජපන් රජය විසින් නිරන්තරයෙන් තරුණ තරුණියන් හට දැනුවත් කිරීම් , ඔවුන්ගේ ගැටලුවලට ඇහුම්කන් දීම් ආදිය සිදු කරමින් . දිවිනසා ගැනීම් වලින් තොරව ජීවිතයට මෙන්ම ජීවත් වීමේදී ඇතිවන ගැටලූන්ට නොබියව මුහුණ දීමට ජපන් තාරුණ්‍යය පොළඹවන්නේය. මෙහි සිනමාකරුගේද අරමුණ එයය. ඔහු තරුණ දිවිනසා ගන්නන්ගේ ගැටලු අපූර්ව ලෙස විනිවිද දකින්නට උත්සාහ කරන්නේය. ඒවාට විසදුම්ද දෙන්නේය. එලෙස කරනුයේ අතිශය කුතුහලයෙන් යුතු අපූර්ව කතාන්දරයක් ප්‍රශස්ත ලෙස ප්‍රේක්ෂකාගාරයට තිලිණ කරන අතරේය. ඉදින් හිතවතුනි මා මෙය ප්‍රශස්ත සිනමාපටයක් යැය් කීම අවිවාදිත නොවේද ?
සිනමාකරු Yukihiko Tsutsumi විසින් බලාපොරොත්තු ඛණ්ඩනය වීම්, මුග්ධ ක්ෂණික තීරණයන් , නිවරදි තීරණ ගැනීමට නොහැකි වීම් , විශාදය , අසමත්වීම් හෙය්න් ජීවිතය තොර කර ගනු තීරණය කල මෙම තරුණ තරුණියන් 12 එක මිටකට ගන්නේය. එය සමස්ත රටේම ගැටලුවක් ලෙස කියන්නේය. පෙන්වන්නේය . අවසානයේ සියල්ලන්ගේම ගැටලු වෙනස් වෙනස් ඒවා වුවද ඔව්හු දිවිතොර කර ගැන්මට හේතු වූ කාරණා විවිධත්වයක් ගත්තද ඒ සියල්ලන්ටම කර්ණය ඔව්හු ජීවිතයට මුහුණ දීමට තරම් උත්සාහශීලි , නිර්භය නොවීම බව පෙන්වා දෙන්නේය. තමාගෙ ජීවිතය තමාගේ වගකීමක්ය. ඉදින් එය ජීවත් කරවන්න. එවිට ඔබ ජීවත් වේවි. මෙම ත්‍රාසජනක සිනමා සංචාරය අවසානයේ සිනමාකරු සාර්ථකව එකී පණිවිඩය ප්‍රේක්ෂකයා අභිමුඛයෙහි තබන්නේය.
සියලු චරිතයන් උදෙසා සංවේදී මානුශවාදී දෘෂ්ටි හෙලමින්ද, කතාවක් තුල උපකතා රැසක් කියමින්ද , ගුණාත්මක ත්‍රාසජනක සිනමාපටයක අනිවාර්යයෙන් ම විය යුතු ත්‍රාසය , කුතුහලය අවසානය තෙක් රදවා ගනිමින්ද , අතිශය සංවේදී සමාජ ගැටලුවක් කතා ගර්භයෙහි සූක්ෂම ලෙස පවසමින්ද අධ්‍යක්ෂක Yukihiko Tsutsumi විසින් කරනුයේ දැලි පිහියෙන් කිරි කෑමකි. එම අසීරු සිනමාකරණයහි ආනුභාවයෙන් මෙය නරඹන්නාට පරිසමාප්තියට පත් සිනමා වියමනක් බවට නිරායාසයෙන්ම පත්වන්නේය. එහෙය්න් මගේ යෝජනාව වනුයේ ඔබ විසින් අත්‍යන්තයෙන් ම මෙය නැරඹීමට උත්සාහ දැරිය යුතු බවය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment