The Judas And The Black Messiah


 Judas And The Black Messiah ( 2020)


| බැටලු රැලට රිංගූ වෘකයා | 


                          පාලනාධිකාරිය අයුක්තියෙහි හා   සමානාත්මතාවයෙන් තොරව  හැසිරෙන කල්හි යුක්තිය හා සමානාත්මතාවය  අවැසි වූවන් හට පාලනාධිකාරියේ අත්තනෝමතික භාවය හෝ නිර්ලජ්ජිත පීඩිත සමාජ වියුහය හා ඉන් පීඩිත සමාජක්‍රමය වෙනස් කරනු උදෙසා ඔබින එකම මග විප්ලවීය අරගලය විය හැකිය. ලොව දේශපාලන ඉතිහාසය තුල යහපතට හෝ අයහපතට ඇති වූ සියලුම පෙරලීන් මෙකී විප්ලවයන් ආනුභාවයෙන් ඇති වූ ඒවා වන්නේ ඒ හෙය්නි.  ධනවාදී , වර්ණවාදී එක්සත් ජනපදය තුල 1966 දී Black Panther පක්ෂය විසින් ඇතිකරනුයේද එවැනි යුක්තියේ අරගලයකි .


                 ධනවාදයේ අදුරු  පාලනයෙන් පීඩිත සමාජයක් තුල එහි ඒ අදුරු අවශේෂයන් අතුගා දමා නවෝදයක් බලාපොරොත්තු විය හැක්කේ සමාජවාදී අරගලයකිනි. Fred Hampton ගේ චින්තනය වූයේ තම මාක්ස්වාදී මාවත තුලින් ඇමරිකානු අදුරු  දේශපාලන මාවත වෙනස් කිරීමයය. අදුරු පාලනයට එරෙහිව කලු ජාතිකයන්ගේ නැගී සිටීමක් ලෙස ඔහු අරඹන බලාපොරොත්තුවේ විප්ලවය Black Panther පක්ෂයහි සභාපති ලෙස පවත්වාගෙන යන අතරෙහි  ඔහු විසින් ඔහුගේ විප්ලවය උදෙසා කලු ජාතිකයන්ගේ සංවිධාන කිහිපයක් ම  එක්සත් කරවනු ලබන්නේය. නමුත් ඔහුගේ මෙම විප්ලවය සමාජයේ එක්  ජනවර්ගයක යුක්තිය පසිදලීමහි ව්‍යායාමයක් නොවන බවත් විප්ලවය සමස්ත සමාජ අවශ්‍යතවක් බවත් ඔහුගේ චතුර කතිකත්වය, විප්ලවයේ පැහැදිලි පිරිසිදු අරමුණේ ආනුභාවයෙන් සුදු ජාතීන්ගේ සංවිධාන අරබයාද ඒත්තු ගන්වන Fred Hampton . සියලුම ඇමරිකානු ජනවර්ග ඒකරාශි කොට Rainbow Coalition නැතහොත් දේදුනු සංවිධානයක් නිර්මාණය කර එහි නායකත්වය ගනිමින් ධනවාදී , ෆැසිස්ට්වාදී එක්සත් ජනපද පාලනතන්ත්‍රයට අභියෝග කරමින් ඔහුගේ විප්ලවීය අරගලය වඩාත් ශක්තිමත්ව ඇමරිකානු දේශපාලන කරලියට ගෙන එන්නේය.


   මින් ඇමරිකානු දේශපාලනයෙහි මෙන්ම FBI සංවිධානයේද අනතුරුදායී දෘෂ්ටිය Fred Hampton වෙතට එල්ල වනුයේ එකල ඇමරිකානු කලියුගයේ වාසිය නිරායාසයෙන්ම Fred හට ලැබෙනුයැය් සක්සුදක්ව පෙනෙන හෙය්නි. ජේසු තුමන් ඇති කරන්නට තැනු සමාජීය චින්තන විප්ලවය ජුදාස් පාවා දුන්නා සේ Fred ගේ සමාජ විප්ලවයද පාවා දෙන්නට පැමිණෙන හැටේ දශකයේ කලු ඇමරිකානු ජුදාස් කරලියට එනුයේද මාඉහත කී FBI හි අන්තරාදායක දෘෂ්ටියේ ප්‍රථිපලයක් ලෙසය.


    එලෙස Fred ගේ බැටලු රැලට වෘකයෙකු රිංගන්නේය. වෘකයා නමින් Bill ය. ෆෙඩරල් නිලධාරියෙකු ලෙස කූට හැදුනුම්පතක් පෙන්වමින් සොරකමේ යන මොහු කලු ජාතිකයෙකි. කරන්නට ගිය සොරකමක් වැරදුන මොහුව අත්අඩංගුවට පත්වේ. කල දුටු කල වල ඉහ ගත් FBI නියෝජිත රෝය් එකල ඔවුන්ට හිසරදයක් ව තිබූ Fred වෙත බිල්ව යවනුයේ ෆ්‍රෙඩ්ව කොටුකර ගැනීමට පොටක් පාදගනු අටියෙනි.


    නමුත් රෝය් ඇතුලු FBI නිලධරයන්ට අමතක වන එක් දෙයකි. විප්ලවය යනු එක් පුද්ගලයෙකු නොව විප්ලවය යනු බලාපොරොත්තුවකි . විප්ලවකරුවා නැසිය හැකි වුවද විප්ලවය ශේෂ කරන බලාපොරොත්තු මැඩලීම උගහටය . Fred ගේ විප්ලවය එවැන්නකි. ඔහුගේ එම විප්ලවය මේ ආකාරයෙන් වර්තමානයේදීද විශිෂ්ට සිනෙරුවන් තුලින් දිගහැරෙනුයේ එහෙය්නි.


   Judas And The Black Messiah සිනෙරුව නරඹන්නෙකුට විටෙක මෙය Fred Hampton  ගේ පමණක් නොව ඔහු පාවාදුන් Bill ගේ හෘදසාක්ෂියේ කතාන්දරය යැය්ද සිතිය හැක. අධ්‍යක්ෂක  Shaka King සිනෙරුව තනන්නේ බිල්ගේ පාපොච්චාරණය තුලිනි. එහෙය්න් Judas And The Black Messiah යනු Fred Hampton පාවා දුන් බිල්ගේ කතාවය. මෙවැනි පාපොච්චාරණයක අතිශයොක්ති නැත. එකිනෙකා  සාධාරණීකරණය කරවීම්ද නැත . විනිශ්චයකරුවා නරඹන්නාය. සිනෙරුවට Shaka විසින් යථාර්තවාදි ස්පර්ශයක් ගෙන එනුයේ ඒ ආකාරයෙනි


  සිනමාපටය මුලුල්ලෙහිම Daniel Kaluuya, Lakeith Stanfield ගේ රංගනයෙ සිනෙරුවට ගෙන එන්නේ ප්‍රබල ආලෝකයකි. ප්‍රබල සත්‍ය කතාන්දරයක් , ප්‍රබල තිරපිටපතකින් පෝෂිතව , ප්‍රබල අධ්‍යක්ෂකවරයකු යටතේ ප්‍රබල රංගන පෞරුෂයන් එකට ගැටීමේදී එම සිනෙරුව නරඹන්නාට ලැබෙනුයෙ කලකට අමතක නොවන අතිශය ප්‍රබල සිනමා අත්දැකීමක්ය. මෙය එවැන්නකි.


                                                   🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts