The Host ( 2006)


 The Host ( 2006)


|Monster ශානරය තුල Bong Joon Ho සලකුණ|


කොරියානු සිනමාකරු Bong Joon Ho සැමවිටම ප්‍රතිභාපූර්ණ අපූර්වතමයෙකි . එකී වැකිය කිසිසේත්ම අතිශයොක්තියක් නොවනුයේ  Bong Joon Ho යනු තිරුවාණ පාෂාණයක් බදු ප්‍රස්තූතයන් පවා දියමන්තියක් මෙන් වූ සිනමාපට  බවට පත්කල හැකි සිනමාව තුල විශ්වකර්මයෙක් බව ඔහුගේ සිනමා නිර්මාණ තුලින් නිරන්තරයෙන් ශපථ කරන හෙය්නි. හෙතෙම කැරලිකරුවෙකි. ඔහු කැරලිගසනුයේ වෙනකකින් නොව සිනමාඅවියෙනි. එහෙය්න් නංගි පෙන්වා අක්කා දීමට Bong Joon Ho හට ඇත්තේ අපූරු හැකියාවකි. ඔහු Mother , Parasite , Snowpiecer , Memories Of Murder වැනි සිනමාපට වලින් එය ඉතාමත් අපූර්ව ලෙස සිදු කලේය.  මෙය නියමාකාරයෙන්ම පසක් කල ගත හැකි Bong Joon Ho සිනමාකාර්‍යක් වනුවේ 2006 වසරේ හෙතෙම නිපදවූ The Host කොරියානු සිනමාපටයය්. 


ලොව මෙතෙක් බොහෝ Monster ශානරයේ නිර්මාණ බිහිවී ඇත්තේය. ඉදිරියේදීත් තව නිර්මාණය වනු ඇත. එහෙත් The Host වැනි පෙරලිකාර Monster නිර්මාණයක් කිසි කලෙක යලි ලොව බිහිනොවන්නේය. 


මා ඉහත කී පරිද්දෙන් මෙය නංගි පෙන්වා අක්කා දීමකි. නදියට විශක් බැහැර කිරිම නිසාවෙන් ගගෙහි විලෝපීය ආගන්තුක  උභයජීවියෙක් නිර්මාණය වේ. ගොඩට පැමිණ බුරුතු පිටින් මිනිසුන් අනුභව කරන මෙම විලෝපිතයා විනාශ කිරීම මෙහි සාරාංශගත ප්‍රස්තූතයය්. සාමාන්‍ය Monster සිනෙරුවක මෙන් වූ එම ප්‍රස්තූතය සමාජමය විග්‍රහක් තෙක් Bong Joon Ho ගෙන යනුවේ මෙහිදී ඔහු හදුන්වාදෙන මානවචරිත හා සිද්ධීන් තුලිනි. මෙහි සෑම සිදුවීමක්ම විශේෂිතය. සෑම මානවචරිතයක්ම විශේෂිතය. 


කොරියානු සමාජක්‍රමය මෙන්ම ආර්ථිකයත් ඊට ඇති අධිරාජ්‍යවාදී අතපෙවීමත් Bong Joon Ho විසින් මෙහිදී විවේචනය කරනු ලබන්නේය . අධිරාජ්‍යවාදී අතපෙවීම් කොරියානු සමාජය තුල සිදුකරන්නා වූ අහිතකර විපර්‍යාසයන් ඉතා විශිෂ්ට සිනමාභාවිතයක ආනුභාවයෙන් සිනමාවට ගෙන ඒමට Bong සමත්ව ඇත. ඔහු විසින් එතෙක් කරබාගෙන සිටින කොරියානු සමාජය සියුම් හාස්‍යකට මෙහිදී ලක්කර ඇත්තේය. 


මා මෙහිදී ප්‍රබල සිනමා සංඛේත භාවිතයක් අත්වින්දෙමි. එය කෙතෙක්ද යත් Bong විසින් නදියේ නිර්මාණය කල.මේ විලෝපීය උභයජීවී ආගන්තුකයා යනු කොරියානු සමාජය ආර්ථික හා සමාජමය ආකාරයෙන් විපර්‍යාසයට ලක් කිරීමට තුඩු දෙන අධිරාජ්‍යවාදී අතපෙවීම් සංඛේතානුසාරයෙන් ඉදිරිපත් කිරීමක් බව වැටහෙන්නේය. 


එකී කාරණා කාරණා වලට අමතරව පීතෲත්වය , සහෝදරත්වය වැනි මානව සබදතාද Bong විසින් මෙහිදී ඉතාමත් සාර්ථකව සිනමාවට ගෙන එන්නේය. ප්‍රධාන චරිතය වූ Gang doo තුලින් අධිරාජ්‍යවාදීන් විසින් විනාශකාරී , අධිපරිබෝජනවාදී සමාජ , ආර්ථික ක්‍රමයකට පොළඹවන ලබන  තෙක් ඔහේ කරබාගෙන සිටින කොරියානු ජනසමාජය විවේචනාත්මකව ඉදිරිපත් කිරීමට Bong Joon Ho ප්‍රයත්න දරා ඇත. විලෝපිතයා විසින් පැහැරගෙන යන ඔහුගේ දියණිය වූ hyun seo තුලින් මේ සන්තෑසියේදී අසරණ වන කොරියානු අනාගතය හා අනාගත අභිලාෂයන් ද Bong  ඉදිරිපත් කරන්නේය. මෙහිදී ඉතාමත් සුවිශේෂ මෙන්ම ප්‍රශංසනීය සිනමා සංඛේත භාවිතයක් අත්විඳි බව පෙරාතුව සදහන් කලේ එහෙය්නි.


තාක්ෂණිකව Bong ගේ තිරරචනය විශ්මයකි. සිනෙමැටොග්‍රැෆිද එසේය. Bong සතුව ඇත්තේ කලාතුරකින් සිනමාකරුවකුගෙන් ප්‍රේක්ෂකයා හට දැනවෙන අපූර්ව ප්‍රතිභාවකි. මෙහි Bong Joon Ho සිනමාපටයේ සෑම තත්පරයකදීම ඔහුගේ අනන්‍යතාව , සලකුණ සිනමාපටය මත තබන්නේය. 


Kang Ho Song   , Bae Doona , Go Ah Sung , Park Hae il,  Byun Hee Bong ආදීහු තම රංගනයන්ගේ ප්‍රතිභාවන් සිනමාපටයට කාවද්දන්නෝය. මෙය පෙර නොවූ විරූ Monster  සිනමා අත්දැකීමක් බවට පත්කිරීමෙහිලා ඔවුන්ගෙ දායකත්වයද අතිශය ප්‍රශංසනීයය.


පෙරාතුව මා මෙවැනි Monster ශානරයේ සිනෙරුවක් යලි බිහිවනු නැත්තේයැය් උදම් ඇනුවේද ඒ නිසාවෙනි . මෙය පරිපූර්ණ සිනමා ව්‍යායාමයකි. අසමසම සිනමා භාවිතයකි. මා එවබලව යන විධානය නොබියව මෙම සිනෙරුව නැරඹන්නට සිතැත් වූවන්ට දෙනු ලබනුයේද එහෙය්නි


                                    🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts