Sunrise : A Song Of Two Humans ( 1927)


 𝐒𝐮𝐧𝐫𝐢𝐬𝐞 : 𝐀 𝐒𝐨𝐧𝐠 𝐎𝐟 𝐓𝐰𝐨 𝐇𝐮𝐦𝐚𝐧𝐬 ( 1927)


𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐞𝐝 𝐁𝐲 - 𝐅.𝐌 𝐌𝐮𝐫𝐧𝐚𝐮 


ප්‍රේමය සහමුලින්ම අතිශය සංකීර්ණ හැගීමකි. ප්‍රේමය කර්ණ කොට ගෙන හට ගන්නා වු සියලුම මනුශ්‍ය සබදතාවන්ද ඒ හෙය්න්ම අතිශයින් සංකීර්ණය. එය කිසිසේත්ම ප්‍රේමය අරබයා ප්‍රකාශ කරන්නා වු අතිශයොක්ති ප්‍රකාශයක් නොවේ. මන්ද යත් ප්‍රේමයෙහි එකී සංකීර්ණමය ස්වරූපය අප සියල්ලන්ම පාහේ සක්සුදක් ව දන්නා හෙය්නි.  


එකී සංකීර්ණමය ප්‍රේමය සිනමාවට කෙදිනකවත් ආගන්තුක වූයෙ නැත.ලොව නිහඩ සිනමාවටද ප්‍රේමය ආගන්තුක ප්‍රස්තූතයක්  නොවේ. එකී සත්‍ය ශපථ කරන්නා වූ අපූර්ව , ප්‍රශස්ත මෙන්ම උත්කෘෂ්ඨ සිනමාවියමනකි Sunrise : A Song Of Two Humans .


නිහඩ සිනමාව ප්‍රේක්ෂකයාගෙ හැගීම් සමග සෘජුව ගණුදෙනු කරන්නකි. ඒ හෙය්න් එකී සිනමාපටයන්හි අරුත ගම්‍ය වන අයුරු එකිනෙකාට සාපේක්ෂය . නිර්මාණකරුවා නිර්මාණය ඔහුගේ ඉච්ඡව පරිදි නරඹන්නාට ඉදිරිපත් කලද නරඹන්නා සිනමාපටය වටහා ගනුයේ හෝ රසවිදිනුයේ නරඹන්නාගෙ ඉච්ඡවට පරිදිය. මෙය වර්තමාන සිනමාවටත් අදාල උවද නිහඩ සිනමාව තුල මෙය විශේෂ කාරණාවකි.


Sunrise පිලිබදව කීමට මත්තෙන් මෙහි කතාන්දරය මා මෙහිදී යම් තාක් දුරට හෝ සැකෙවින්  පැවසීම උචිතයය්  සිතමි .


එක් දුප්පත් ගොවිපල හිමිකරුවෙකි. ඔහු ණය බරින් පීඩිතය . මේ හේතුවෙන් හෙතෙම දැඩි හිත් පීඩාවෙන් කල් ගෙවය්. ඔහුගේ බිරිද ඒ බව දන්නා මුත් සැමියාට හැකි පමණ සත්කාර කරමින් වෙසෙය්. නමුත් මෙම ගොවිපල හිමිකරුවාට අනියම් සබදතාවකි. ඔහු ඔහුගේ අනියම් ප්‍රේමවන්තිය දිනක් හමුවූ අවස්ථාවේදී ඈ යෝජනා කරනුයේ ගොවිපල විකුණා ඈ සමග නගරෙට පලා යන ලෙසටය්. එකී යෝජනාව ඇසූ විට ගොවිපල හිමිකරුවා අසනුයේ එවිට මගේ බිරිදට කුමක් කරනුයේද යන්නය්. "අප ඈ මරා දමමු " අනියම් ප්‍රේමවන්තියගේ තීරණයය්. 


ගොවිපල හිමිකරුවා ප්‍රේමවන්තියගේ ඉච්ඡා ඉටු කරනු වස් සිය බිරිද මැරුවේද...?? සිනමාපටයේ කතාවස්තුව ඒ හා බැදී ඇත.


ප්‍රේමය සිතුවිලි මත දිවෙන්නකි. දෙදෙනෙකු අතර ඇතිවන ප්‍රේමය කල් ගත වත්ම කාලානුරූපව වෙනස් වනවා හෝ පිරිහෙනවා යය් සමහරු පවසත්ද එය මිත්‍යාවකි. බාගදා එය සමහර ප්‍රේමණීය බැදීම් කෙරෙහි වලංගු වුවද බහුතරයක් ප්‍රේමණීය බැදීම් කෙරෙහි වලංගු නොවන්නේය..


අපගේ කතානායකයාගෙ ප්‍රේමයද එවැන්නකි. සාත්තුවක් නොමැති හෙය්න් වල් වැදී ගියා වූ සූරියකාන්ත වගාවක් මෙන් වූ ඔහුගේ ප්‍රේමය ප්‍රේමිය හේතුවෙන් හටගන්නා අනුකම්පාව , අතීතකාමය , පසුතැවීම ආදී කාරණා කර්ණ කොට ගෙන නැවත ඔපමට්ටම් වන අයුරු මෙම සිනමාවියමන පුරා චිත්‍රණය වී ඇත්තේය.


ප්‍රේමය බොළදය. එය සැබෑවකි . ප්‍රේමය කිසිසේත්ම සම්භාව්‍ය විය යුතු නැත. අනෙක් කාරණාව වනුයේ ප්‍රේමය බොළද වීම හෝ සම්භාව්‍ය වීම පුද්ගලානුබද්දව ඇති වන්නක් වීමය්. නමුත් කවුරුන් කෙසේ කීවද ප්‍රේමය බොළදය , මොලොක්ය . මෙලොව යමෙක් ප්‍රීතියෙන් ඔල්වරසන් නගන්නේද , යමෙක් දුක්බරව ඉකි ගසනුයේද ප්‍රේමය හේතුවෙනි. 


සිනමාපටය පුරා කාව්‍යාත්මක ව , සංවාද විරහිතව වචන දසදහසකින් පැවසිය නොහැකි මනබන්ධනීය දැහැන්ගත රූප සමූහයකින් චිත්‍රණය වනුවේ එකී අපූර්ව ප්‍රේමයය්.


මෙහි නිර්මාපකයා F.M  Murnau යනු සැවොම දන්න පරිදි ජර්මානු සිනමාකරුවෙකි. යුරෝපීය නිහඩ සිනමාව තුල අමරණීය සිනමාකරුවෙක් වන එතුමා විසින් 1927 වසරේදී නිර්මාණය කරන ලද මෙම අමරණීය රෝමාන්තික සිනෙරුව. ලෝක නිහඩ සිනමාව තුල බිහිවූ ජනප්‍රියම මෙන්ම ප්‍රශස්තම සිනමාපටයක් යන්න සිනමාවේදීන්ගේ පිලිගැනීමය්.


සිනමාපටය පුරාම F.M Murnau  මහතාට අනන්‍ය කෘතහස්ත මෙන්ම අපූර්ව  සිනමා භාෂිතය සිනමාපටය නරඹන්නාට රසදුනකි. වරක් නැරඹූවෙකු ඔහුගේ දිවිය තුල නැරඹූ විශිෂ්ඨතම සිනමාපට අතර තැනක් මෙය සදහා වෙන් කිරීම ස්ථිරය. Murnau  මහතාගෙ සිනමා භාෂිතය එතරම්ම ප්‍රබලය. මට අනුව ඔහු දාර්ශනිකයෙක් බදු සිනමාකරුවෙකි . නමුත් ඔහු ඔහුගේ දාර්ශනික කියවීම් සිනමාපට තුල සරලව මෙන්ම සුමටව විවරණය කරනුයේ. පුදුම සහගත අයුරිනි.


එමෙන්ම Janet Gaynor , George O'Brien  ගේ අපූර්ව ස්වභාවික ප්‍රශස්ත රංගනය ,Charles Rosher, Karl Struss ගේ අපූර්ව කැමරා කරනය , Hugo Riesenfeld, Ernö Rapée, Willy Schmidt-Gentner ඇතුලු කණ්ඩායමෙහි අපූර්ව සංගීත මෙහෙයවීම මෙම සිනෙරුව ඔබට ආත්මීය කරවනු නොවනුමානය. 


එහෙය්න් මෙම අමරණීය නිහඩ සෙලියුලය්ටය Murnau  නම් ඒ අසහාය සිනමාකරුවාගෙ සිනමා භාෂිතයේ ප්‍රතිභාව මුල් කොට ගනිමින් නිර්මාණය වූ  කලාත්මක පරිසමාප්තියට පත් සෙලියුලය්ටයක් ලෙස මා හදුන්වන්නට කැමැත්තෙමි .එමෙන්ම සිනමාව ප්‍රිය කරන ඔබ විසින් අනිවාර්යයෙන් ම නැරඹිය යුතු සිනමාපටයක් ලෙස මා මෙය ඉතා ඉහලින් යෝජනා කරනුද කැමැත්තෙමි

                                        🖋️ හිරුෂ කසුන් 

Comments

Popular Posts