Still Walking ( 2008)


 Still Walking (2008)


Hirokazu Kore-eda නම් ජපන් සිනමාකරුවා පිළිබඳව අටුවා ටීකා මතුකිරීම අත්‍යන්ත නොවන්නේය. මන්ද යත් ජපන් සිනමාව හෝ ලෝක සිනමාව ඇසුරු කරන්නන් හට Kore-eda  යනු ආගන්තුකයෙක් නොවන හෙය්නි 


වත්මන් සිනමාකරුවන් හා සැසදීමේදී Kore-eda  විශිෂ්ඨයෙකු වන්නෙ සාමාන්‍ය කතා ප්‍රස්තූත සියුම්වත් කලාත්මකවත් , භාවාත්මකවත් ඉදිරිපත් කිරීමෙහිලා ඔහු ප්‍රකට කරවන පුදුමසහගත හැකියාව නිසාවෙනි. 


Kore-eda මහතාගෙ මිණි ආකරයක් බදු සිනමා නිර්මාණ ගොන්නෙන් මා විසින් නරඹන ලද දෙවන නිර්මාණය Still Walking සිනමා වියමනය් Still Walking සිනමාපටය  Kore-eda විසින් 2008 වසරේදී ලියා අධ්‍යක්ෂණය කරන ලද සිනමාපටයකි. මෙයද සැබැවින්ම මාහට සිනමාවේ හමුවූ මාණික්‍යකි.


Kore-eda විසින් මෙවර සිනමාපටය උදෙසා ප්‍රස්තූත කරගනුයේ සාම්ප්‍රදායික කුටුම්භයක සාමාජික සබදතාවන්හි ගතිකත්වයය්. ඔහු ඒ උදෙසා උපයෝගී කර ගන්නා කතාපුවත එකී අරමුණ සාක්ශාත් කර ගැනීම උදෙසා තිර පිටපත තුල ගොඩනගන්නා වූ ආකාරය සැබැවින්ම ආශ්වාදජනකය.


මහලු Yakoyama විශ්‍රාම සුවයෙන් ජීවත් වන වෛද්‍යවරයෙකි. ඔහු ඇගේ බිරිද සමග තනිව වාසය කරන්නට යෙදෙන්නේය. මුහුදේ ගිලී මියෙන්නට ගිය කුඩා දරුවකු ඉන් මුදවා ගැනීමට ගොස් මිය ගිය ඔවුන්ගේ වැඩි මහල් පුත්‍රයාගෙ මරණ සංවත්සරය සැමරීම තකා ඔවුන් විසින් ඔවුන්ගේ බාල පුත්‍රයා වන Ryo ට හා දියණියට ආරාධනා කරය්.


හුදෙක්ම මෙම සිනමාපටයෙහි කතාන්දරය පැය 24 කටත් අඩු කාලයක කුටුම්භයක  සිදුවූ සිදුවීම් වටා ගොඩනැගී තිබීම මෙහි අගනා භාවය ත්‍රීව්‍ර කරන සාධකයකි . එකී කුටුම්භය තුල මව , පියා , පුත්‍රයා , ලේලිය , දියණිය , බෑණනුවන් , මුනුබුරු මිණිබිරියන් අතර සිදුවන කතා බහ. ඔවුන්ගෙ සංවේදී හා විනෝදකාමී අතීතාවර්ජන ,ඔවුන්ගේ අනාගත අභිලාෂයන් පිළිබඳව ඇති වන කතිකාවත් මගින් Kore-eda  මෙහි කතාන්දරය ගොඩ නගා ඇත.


මෙහිදී Kore-eda  විසින් තිරපිටපත තුල වැඩි අවධානය දී ඇත්තේ Yakoyama  පවුලේ පියා හා පුත්‍රයා අතර ඇතිවන සීතල යුද්ධය හා ඔවුන්ගේ චිත්තවේගික හැසිරීම් විවරණය උදෙසාය. ඒ තුලින් එම පිය පුතු දෙපලගේ සබදතාවහි ගතිකත්වය විවරණය Kore-eda විසින් සිදු කර ඇත්තේය. බාල පුත්‍රයා වන Ryo අනාගතයේ  තමා මෙන්ම වෛද්‍යවරයකු  වනු ඇතැය් බලාපොරොත්තු  වූ Yakoyama ගේ එකී බලාපොරොත්තු ඛණ්ඩනය වනුයේ පුත්‍රයා විසින් වෙනත් රැකියාවක් තෝරා ගෙන වැන්දඹු කාන්තාවක් හා විවාහ වීමත් සමගය. ඒ නිසාවෙන් මහලු Yakoyama ඔහුගේ පුත්‍රයා සමග නිරන්තර සුලු මතගැටුම් වලට එලෙබෙන්නෙ දෙදෙනාගෙ ඇති යම් යම් උඩගු දඩබ්බර ගතිපැවතුම් උද්දීපනය කරමිනි. නමුත් ඒ  මතගැටුම් තුලින් පිය පුතු සබදතාවයහි නිහඩ ස්නේහය Kore-eda සිනමාවට හසුකරගෙන ඇති අයුරු ප්‍රශංසාවට ලක් කලයුතුය .


ඉතාම සියුම් කතා ශෛලයකින් යුතු මෙම  සිනමාරචනය නරඹන්නා තුල කාව්‍යමය හැගීම් පහල කරවන්නකි. ඒ උදෙසා Yutaka Yamazaki ගේ අතිශය සොදුරු කැමරාකරණය  , Gontiti ගේ සියුම් භාවාත්මක  හැගීම් උද්දීපනය කරන්නා වූ සංගීතය ලබා දෙන්නා වූ පිටුවහල මනරම්ය . එහෙය්න් සිනමාව ප්‍රිය කරන්නා වූ සියල්ලන්ම අත්‍යන්තයෙන් ම රසවිදිය යුතුම පරිපූර්ණ සිනමාවියමනකි Still Walking

                                             🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts