Silenced ( 2011)
𝐒𝐢𝐥𝐞𝐧𝐜𝐞𝐝 ( 2011)
යුක්තිය උදෙසා කරන්නා වූ අරගල කිනම් සමාජයකට වුවද කිසිසේත්ම ආගන්තුක නොවේ. මිනිස්සු යුක්තිය අයදිති. සර්ව සාධාරණ හෝ යුක්ති සහගත සමාජයක් උදෙසා නීති සම්පාදනය කරති. අවසන මිනිස්සු නීතියෙන් යුක්තිය අයදිති . නමුදු නීතිය න්‍යාය හෝ අන්‍යාය ඉදිරියේදී නිහඩය. අන්ධය.
කවරෙකු හෝ නීතිය සම්මුඛයේ කිසිම සමාජයකට බලාපොරොත්තු වූ යුක්තිය හෝ සාධාරණය ඉටු වේදැය් විමසුවොත් මා හට ඇත්තේ එක පිලිතුරකි. නීති සම්පාදනය කරන්නෝ මනුශ්‍යයෝය. ඔවුහු සමාජයේ ශිෂ්ඨ පැවැත්මට නීති සම්පාදනය කලෝය. නමුත් කිසිදු මනුශ්‍යයෙක් කිසිවිටෙකත් යුක්තිගරුක හෝ සර්ව සාධාරණ මතධාරියෙකු නොවේ. ඉතින් ඔවුන් සම්පාදනය කල සම්මුතීන් හෝ නීති සර්ව සාධාරණ හෝ යුක්තිගරුක වන්නෙ කෙසේද...??
අප සියල්ලෝම කිනම් නීති පද්ධතියකදී වුවද සිරවන උභතෝකෝටිකය එය නොවෙය්ද.... කෙසේ වෙතත් අප දන්නා පරිදි අපට සාධාරණය බලාපොරොත්තු විය හැකි. යුක්තියේ අවසන් බලාපොරොත්තුව රටක නීති පද්ධතියය්. විකල්ප නැත අසාධාරණය හේතුවෙන් පීඩිත වූවන් යුක්තිය පැතිය යුත්තේ නීතියෙන් පමණි. එය මනුශ්‍යත්වය පිලිබද ගැටලුවක් උවද යුක්තිය ඇයදිය යුත්තෙ නීතියෙන්ය. සම්මුතිය එයය්.
එකී නීතිය පසිදලීමහි ආධිපත්‍යය නීතිවේදීන් සතුය. අන්ධ නීතියට න්‍යාය හෝ අන්‍යාය තෝරා දෙනුයේ ඔවුන්ය. නමුදු ඔවුන්ගේ එම උත්තරීතර කාර්‍ය මුදලේ හෝ බලයේ කඩතුරාවෙන් වැසුනහොත්... නීතියෙන් සාධාරණත්වය කෙසේ නම් ඉටුවේද..
නීතියෙන් බලාපොරොත්තු වූ යුක්තිය නොලැබී බලාපොරොත්තු ඛණ්ඩනය වූවන් විසින් අරගලය කරලියට ගෙන එනුයේ එකී අවස්ථාවේදීය. බලයේ අදුරු අනුහසින් නීතිය හෝ යුක්තිය අන්ධ වූ විට සාධාරණත්වය සොයා යෑමට ඇති එකම විකල්පය අරගලය පමණි.
සත්‍ය කතාවක් මත පාදක වූ 𝐒𝐢𝐥𝐞𝐧𝐜𝐞𝐝 කොරියානු සෙලියුලය්ටය එකී සාධාරණත්වය උදෙසා වූ අරගලයක් පිළිබඳව විවරණය වන්නකි.
කතන ආබාධිත හා ශ්‍රව්‍ය ආබාධිත පාසලක සිසුවියන් දෙදෙනෙකුට හා සිසුවෙකුට පාසලේ පාලානාධිකාරී පුද්ගලයන්ගෙන් සිදු වු ලිංගික අඩත්තේට්ටම් දැන ගන්නා එකී පාසලට ඉගැන්වීම් පිණිස පැමිණෙන නවක ගුරුතුමන් ඒ සිසුන් තිදෙනාට නීතියෙන් සාධාරණය ඉටු කරවා වරදකරුවන්ට දැඩි දඩුවම් ලබා දීමට ගන්නා සංවේදී උත්සාහය මෙහි කතා පුවතය්.
මනුශ්‍යත්වයම ගැටලු සහගත වූ සමාජයක . නීතියේ සාධාරණත්වය අයදිමින් ඔවුන් කරනුයේ අවහිංසක අරගලයකි . එසේම එය සමාජය වෙනස් කිරීම උදෙසා සිදුකරන අරගලයක් නොව සමාජය විසින් ඔවුන්ව වෙනස් කරවීමට එරෙහිව සිදු කරන අරගලයකි. එසේම එකී අරගලය කෙතරම් සාධාරණ උවද යුක්තිය කෙතරම් දුරට එයට සමානුපාතිකව සාධාරණ වේද යන්න මෙම සිනමාපටය තුලින් විමසා බලනු ලබය්
නීතියහි යුක්තිය තීරණය කරනුයේ මිල බලයද . නැතහොත් ඇස් මානයේ පෙනීමට ඇති සාධාරණත්වයද..? සංවේදී දෙහෝරාවක් පුරා දිවෙන 𝐒𝐢𝐥𝐞𝐧𝐜𝐞𝐝 සිනමාපටය ඔබව ගෙන යනුවේ එකී උභතෝකෝටිකය වෙතටය්.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment