Mother ( 2020)


 Mother ( 2020) 


වැටත් නියරත් ගොයම් කානම්....


මවක් වීමට දරුවෙකු බිහිකිරීම පමණක් ප්‍රමාණවත්ද.?  මවකට ඇගේ ආත්මාර්ථය උදෙසා මෙතරම් පහත් විය හැකිද ? මව විසින් තමාව බිහිකල නිසාවෙන්ම ඈ උදෙසා කල නොහැක්කක් නැති  පුත්‍රයෙකුගේ කතාවක් අසා ඇත්ද ? ඔහු බලාපොරොත්තු වන්නෙ මවගේ සිනහව සැනසීම ඇගේ ආදරය පමණකි නමුත් ලැබෙනුයේ මව විසින් ඇගේ ඉච්ඡවන් , ආත්මාර්ථයන් ශපත කරනු වස් ඔහුව යොදා ගැනීම නිසාවෙන් ඔහුට ලැබෙන කර්කශ ඛේදිත ගැටලු සමුදයකි.... ඔව්  මේ එකී ආත්මාර්ථකාමී නාස්තිකාර මවක් හිමි අවාසනාවන්ත පුත්‍රයෙකුගේ කතාවය් .


මාතෲත්වය යනු සිය දරුවන් ඇගේ ඉච්ඡවන් ශපථ කරවනු වස් යොදා ගැනීම නොවේ . මාතෲත්වය යනු මෙලොව ඇති උත්තරීතර පරිත්‍යාගයය්. සිය දරුවන් උදෙසා මවක් ඇගේ ආත්මයෙන්ම සිදුකරන පරිත්‍යාගය මාතෲත්වයය්. 


නමුත් මවක් ඇගේ අපිලිවෙල , කිලිටි , ආත්මාර්ථකාමී නාස්තිකාර  ජීවිතය තුල ජීවත්වන්නන් වාලේ තිරිසන්ව ජීවත් වමින් ඇගේ සුඛවිහරණය හෝ දිවිගැටගැසීම උදෙසා දරුවන් යොදා ගනීනම් එයට අපි කිනම් අර්ථකථනයක් දෙමුද? අප ඈ මවක් ලෙස හැදින්විය යුතුද ? ඈ සැබවින්ම මවක් යැය් හැදින්වීමට නුසුදුසු නොවෙය්ද ? මෙම සිනෙරුව ඔබ එකී උභතෝකෝටිකයහි සිර කරවනු ඇත. 


කාන්තාවකගේ අපිලිවෙල මෙන්ම විනාශකාරී , වගකීම් විරහිත ජීවන රටාව සමාජයක් තුල නිතරම ඈ ඛේදයකට ඇද දමනු ලබය් . එය සමාජයේ වරදක් නොව ඇගේ තෝරා ගැනීම් හි වරදකි. එකී තෝරා ගැනීම් වලින් ඛේදිත සමහර කාන්තාවන්ට මාතෲත්වය යනු දෙවන වරමකි. නමුත් මෙහි අකිකෝ නම් කාන්තාව එහි පරස්පරයය්.


අකිකෝ හට පිරිමි  දරුවෙකු සිටිය්. පියා ඔව්න් සමග නැත. අකිකෝ ඔහුගේ පුත්‍රයාගෙ පාසල් ගමනද කඩාකප්පල් කරවමින් කෙලිලොල් ජීවිතයක් ගත කරය්. ඇගේ මවගෙන් හා සොයුරියගෙන් නිතරම ණයට ගනිය්. අධික ලෙස මත්පැන් පානය කරය්. මේ අතර දිනක් තබෑරුමකදී ඔවුන්ට රියෝ හමුවෙය් . රියෝ සටකපට පුද්ගලයෙකි. 


රියෝ හා අකිකෝගේ ව්‍යාකූල  සම්බන්ධයත්, ඒ සම්බන්ධය අකිකෝගෙ පුත්‍රයාගේ ජීවිතයට ඇති කරන බලපෑමත් , අකිකෝ විසින් මුදල් ඉපයීම උදෙසා රැකියාවල් හි නිරත කරවමින් නිසි අධ්‍යාපනයක් වත් ලබා නොදුන් ඔහුගේ පුත්‍රයාගේ ඛේදිත අවසානය මෙම සිනෙරුවෙන් චිත්‍රණය වේ.


මෙහි ගැහැණුන් හා පිරිමින් මව්න් පියන් වන්නේ නාමිකවය. සිනමාකරුවන් මීට මත්තෙන් ඉතාමත් අඩුවෙන් පිය ගැසූ ඉසව්වකට මෙහිදී සිනමාකරු Tatsushi Omori පය ගසන්නේය. කාන්තාවක් මවක් වූ පසු ආත්මාර්ථය අත් හල යුතුය. සිය දරුවන්  වෙනුවෙන් කැප විය යුතුය. ඇගේ දරුවන් වීමේ පාපය ඇගේ දරුවන්ගේ හිස මත නොපැටවිය යුතුය. සිනමාකරු මෙම සංවේදී සිනමා ව්‍යායාමයේදී එය දැඩිව කියන්නේය.


මවක් අරබයා පුත්‍රයෙකු තුල ඇතිවනුයේ අසමසම සෙනහසකි. සිය මව විසින් ඇගේ සුඛවිහරණය උදෙසා ඔහුව යොදා ගන්නා බවත් , ඈ විසින් ඔහුගේ ජීවිතය අදුරට ඇද දමනා බවත් දැන දැනම මවගෙ ඉච්ඡවන් පූර්ණය වස් පුත්‍රයා කැප වන්නේ එබැවිනි. මා මෙය නාස්තිකාර මවගේ නොව අවාසනාවන්ත පුත්‍රයාගෙ කතාව යය් ඉහත හැදුන්වූයේ එහෙය්නි.


මෙම ජපන් සිනෙරුව ප්‍රේක්ෂකයා තුල තිගැස්මක් ඇතිකරන්නා ආකාරයේ සිනමා අත්දැකීමකි. නාට්‍යමය සිදුවීම් හා දර්ශන ඉතා සියුම්වත් මනා සංයමයකින් යුතුවත් ඉදිරිපත් කිරීම අරබයා අධ්‍යක්ෂක Tatsushi Omori තුති පුදකල යුතුය. හෙතෙම විසින් මනා ප්‍රතිභාවක්. මෙන්ම සියුම් සිනමා භාවිතයක් අතිශය ප්‍රබල ලෙසින් යොදා ගැනීම අගයකිරීම අත්‍යන්තයෙන් සිදුකල යුත්තකි. එසේම අකිකෝ ලෙස රගපෑ  Masami Nagasawa හා Shuhai නම් පුත්‍රයා ලෙස රගපෑDaiken Okudaira ගේ රංගන ප්‍රතිභාවන්ද අමතක කල නොහැක.


මෙහි ප්‍රස්තූතය විසින් විවරණය කරන්නට යෙදෙන මව්ගේ කටුක සෙවනැල්ලෙන් පීඩිත හා මිරිගුවක් බදු ඇගේ ආදරය හබා යන පුත්‍රයාගෙ ඉරණම මෙන්ම ප්‍රේක්ෂකයා තුල විටක කෝපයද , විටක කෝපය මිශ්‍ර අනුකම්පාවද , විටක අනුකම්පාවද ,විටක හිස් බවද ජනිත කරවන මවගේ අපහැදිලි ඉරණමද ප්‍රේක්ෂක ඔබ වෙත අසුන්දර නමුත් යථාර්තවාදි සිනමා අත්දැකීමක් සමීප කරවනු නොඅනුමානය .


Comments

Popular Posts