Knife In The Water ( 1962)


 Knife In The Water ( 1962)


එව ..!! බලව ..!! සාම්ප්‍රදායික බැමි පෙරලූ රෝමන් පොලන්ස්කිගේ සිනෙරුවක අපූරුව..


රෝමන් පොලන්ස්කි සිනමාවේදී කිසිසේත්ම මග හැරිය නොහැකි උත්කෘෂ්ඨ සිනමාකරුවෙකි. මන්ද යත් ඔහුගේ සිනමා හරඹය නරඹන්නාට සැමවිටම ආගන්තුක අත්දැකීමක් ගෙන එන හෙය්නි. එය පනහ දශකයේ නිර්මාණය වූවක් වීම , එය හැටේ දශකයේ නිර්මාණය වූවක් වීම ඊට අදාල නොවේ. ඔහුගේ සිනමා ප්‍රස්තූතයන් මෙන්ම හරඹය සැමවිටම නරඹන්නාට ආගන්තුක මෙන්ම අපූර්ව වේ. Knife In The Water එම කරුණ අතිශය තීව්‍ර ලෙස තෘප්ත කරන්නකි.


තම සුරූපී  බිරිය වූ ක්‍රිස්ටීන් සමග නිවාඩුව ගතකිරීම උදෙසා සංචාරයේ යෙදෙන්නා වූ සරසවි ඇදුරුතුමෙකි. ඔහුට අතරමගදී අහඹුවෙන් හමුවන්නේ දඩබ්බර තරුණයකි. තරුණයාව කාරයේ නංවා ගන්නා සරසවි ඇදුරුතුමන් ඔහුවද ගමනට එක්කරගනී . ඉන් නොනැවතී මේ ඉබාගාතේ යන තරුණයාව ඔවුන්ගේ බෝට්ටු සංචාරයට එක් කරගනී. 


පොලන්ස්කි ප්‍රවේශය ගත් ප්‍රස්තූතයේ උච්චතම අවස්ථාවට කතාන්දරය  පැමිණීමට  අරඹන්නෙ දැන්ය. මෙය තුන්කොන් අරගලයකි.  ක්‍රිස්ටීන් ගේ අවධානය ලබා ගැන්ම උදෙසා ඇගේ සැමියා වූ සරසවි ඇදුරා හා ආගන්තුක තරුණයා එකිනෙකාට දෙවෙනි නොවෙන අයුරින් සීතල යුධයක් අරඹන්නේය. ආගන්තුකයා කෙලිලොල්ය , ගුප්තය , ඇට්ටරය . හෙතෙම නිරන්තරයෙන් තනනුයේ ක්‍රිස්ටීන් ගේ අවධානය ඔහු වෙතට ගන්නටය. සරසවි ඇදුරා වූ ඇගේ සැමියා මෙය වටහා ගන්නේය. ඔහුද ක්‍රමයෙන් ආගන්තුකයා හා කරටකර ගැටෙන්නට ගනී . යාත්‍රාව මත අඩනිරුවත්ව වැතිරී සිටින්නා වූ සිය බිරිදගේ අවධානය ආගන්තුක තරුණයා කෙරෙහි වැටෙනු වැලක්වීමට හැකි සෑම දේම කරන්නේය. තරුණයා සිදුකරන සෑම ක්‍රියාකාරකමකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දක්වන්නේය . කියන සෑම දේටම ප්‍රතිඋත්තර දෙන්නේය. තරුණයාට වඩා තමා ඉදිරියෙන් යැය් සිය සුරූපී බිරියට ඒත්තු ගන්වන්නට හැකි සෑම දෙයම කරන්නේය.  


මා මෙහිදී වඩාත් ප්‍රසාදයට ලක්වූවේ පොලන්ස්කි විසින් මෙම කතාන්දරය ක්‍රමයෙන්  රැගෙන ගොස් නරඹන්නාව තබන ඉසව්ව පිලිබදවය. මෙය ඔබ මෙන්ම මා අසා පුරුදු තුන්කොන් ප්‍රේම අරගලයකි. නමුත් පොලන්ස්කි එය සාම්ප්‍රදායෙන් ඔබ්බට රැගෙන යය්. එය කිසිදු සිනමාකරුවෙකු විසින් මීට මත්තෙන් පය නොගැසූ ඉවව්වකි. අතිශය සංකීර්ණ මනුශ්‍ය ස්වභාවයන් පිළිබඳ ස්පර්ශයක් පොලන්ස්කි විසින් කතාන්දරයට ලබා දෙන්නේය. වට්ටෝරුගත විකාරරූපී තුන්කොන් ප්‍රේම අරගලයන් අන්තර්ගත සමහර බාල සිනමාපට වලින් මෙය වෙනස් වන්නේ එහෙය්නි.  


පොලන්ස්කි විසින් මෙම ප්‍රේම කතාන්දරයේදී  තිදෙනාගෙන් කිසිවෙකු අසරණ කරනුයේ නැත. ඔවුන් තිදෙනාම තෘප්තිමත්ය. විවාහක යුවලේද  අනාගතය පැහැදිලිය මෙය සුඛාන්තයකි. සිදුවූයේ විවාහක යුවලේ බිරිද විසින් ඇගේ රාගය නැමැති අපාරගම්‍ය සීමාව ටික මොහොතකට පාරගම්‍ය කොට තරුණයා කාය්කව තෘප්ත කර ඇගේ රාගයද තෘප්ත කර ගැනීම පමණකි . එය සාම්ප්‍රදායික හණමිටිකරුවන්ට මැජික් වුවද පොලන්ස්කිට මැජික් නොවේ. මා මෙය ඇරඹුමේදීම මෙය කිසිදු සිනමාකරුවෙක් පය නොගැසූ ඉසව්වක් යැය් හැදුන්වූයේ එහෙය්නි


පොලන්ස්කි විසින් සිනමාපටය මුලුල්ලේම මෙම චරිත ත්‍රිත්වය විනිවිද දැකීමට තනන්නේය. ඒ උදෙසා ඔහු මෙම මේ තුන්කොන් සබදතාව උදෙසා ආගන්තුක දෘෂ්ටි හෙලන්නේය. නරඹන්නාට එය නවමු අත්දැකීමකි. එසේම එය සිනමාකරුවාගෙ ප්‍රතිභාවද ප්‍රදර්ශනය කිරීමකි. කලාකරුවෙකුගේ ප්‍රතිභාව නම් අපූර්ව ලක්ෂණ නිර්මාණය කිරීමේ හැකියාවය්. පොලන්ස්කි සාම්ප්‍රදායික බැම්ම කඩා ඔහුගේ ප්‍රතිභාව ශපථ කරන්නේය. එනිසාවෙන්ම මෙය අපූර්ව  සිනමාකරුවෙකු නිමකල  විශිෂ්ට සිනමා ව්‍යායාමයකි . සාම්ප්‍රදායෙන් ඔබ්බට ගිය සිනෙරුවක පහස පතන්නෝ මෙම සිනෙරුවේ පහස ලැබිය යුතුම යැය් මා යෝජනා කරනුයේද එහෙය්නි. 

                                          🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts