Full Metal Jacket (1987)


 Full Metal Jacket  (1987)


| එක්සත් ජනපද මැරීන් සෙබලුන් හා වියට්නාම් යුධය අරබයා වූ ස්ටැන්ලි කුබ්‍රික් සෙලියුලය්ට් භාෂණය  |


ප්‍රබල සිනමාකරු ස්ටැන්ලි කුබ්‍රික් සැබවින්ම ප්‍රස්‍තූතයන් මුවහත් කරන්නෙකි. ඔහු සිනමාකරණයේදී ඔහුට හසුවන ප්‍රස්තූතයන් මුවහත් කොට ඊට සිනමාව නම් මීපැණිය කවා ප්‍රේක්ෂක හදවත සිදුරු කරනුයේ දිවි පවතින තුරු එකී සිනමාපටය ප්‍රේක්ෂක මනසින් ගිලිහි නොයන ලෙසිනි. කුබ්‍රික් සැමවිටම එසේය. ඔහු ගේ සිනමා භාෂිතයන් අප තුල සදානුස්මරණීය එහෙය්නි. එහෙය්න් සිනමාව පවතින තාක් කුබ්‍රික් යනු අමරණීය සිනමාකරුවෙකි.


1980 දශකය වන විට කුබ්‍රික්ට මෙන්ම  ලෝක සිනමාවටද යුධ සිනමාව යනු ආගන්තුක ප්‍රස්තූතයක් නොවූයේය. ලෝක සිනමාව තුල බොහෝ සිනමාකරුවන් ඒ වන විටත් බොහෝ දෘෂ්ටි  කෝණයන් ඔස්සේ යුධය පිළිබද සිනමාව තුලින් භාෂණය කර තිබූහ. කුබ්‍රික් ද ඒ වන විට Paths Of Glory නම් උත්කෘෂ්ඨ සෙලියුලය්ටය ඔස්සේ 1957 වසරේදී කලාත්මක පරිසමාප්තියට පත් යුධ සිනමා භාෂණයක් ලෝක සිනමාවට දායාද කොට තිබුණි. ඉන් යුධය දෙසට මෙන්ම සෙබලුන් දෙසටත් එමෙන්ම දෙවන ලෝක යුධ සමයේ එක්සත් ජනපද යුධ පරිසරය දෙසටත් ආගන්තුක දෘෂ්ටියක් හෙලීමට Paths Of Glory  සමත්විණ . 


තත්වය එසේ තිබියදී කුබ්‍රික් විසින් Gustav Hasford විසින් රචිත නවකතාවක් වූ The Short-Timers තිරපිටපතට පෙරලන්නේ එය Full Metal Jacket නමින් අපූර්ව යුධ සෙලියුලය්ටයක් සිනමාවට බෞතීස්ම කරමිනි. 


මෙම චිත්‍රපටය කොටස් දෙකකින් යුතුය. එක් කොටසක්  එක්සත් ජනපද මැරීන් සෙබලුන් පුහුනු කදවුරක දරදඩු අණදෙන්නෙකුගේ යටතේ පුහුණු වෙන්නා වූ ආධුනික මැරීන් සෙබළුන් අරබයාද , දෙවැන්න ඉන් පුහුණුව එක්සත් ජනපද හමුදා මාධ්‍යවේදියෙකු ලෙස වියට්නාම් යුධ පෙරමුණට යන ජෝකර් නම් මැරීන් සෙබලා හා ඔහු වියට්නාමයේදී මුහුණ දෙන්නා වූ කටුක යුධමය තත්වයක් අරබයාද වෙන් කොට ඇත්තේය.


මා පෙර සදහන් කල පරිදි කුබ්‍රික් චිත්‍රපටය තුල ප්‍රථමයෙන් අවධානය දෙනුයේ මැරීන් සෙබල යුධ අභ්‍යාස පාසලක් තුල දරදඩු අණදෙන්නෙකුගේ යටතේ පුහුණු වෙන්නා වු ආධුනික තරුණ මැරීන් සෙබලුන් කණ්ඩායමක් වෙතය. ඇට්ටර , කෙලිලොල් තාරුණ්‍යය පිලිඹිබු වන දර්ශන හා දෙබස් සමූහයක් ප්‍රේක්ෂකයා අභිමුඛයෙහි තබන කුබ්‍රික් කෙමින් කෙමින් ඔහුගේ දර්ශන පෙලහර සියුම්ව කටුක භාවයක් වෙත ගෙන යන්නේය. යුධ අභ්‍යාස පාසලේ දරදඩු පරිසරය දර්ශන තුලින් මෙන්ම දෙබස්තුලින් මනාව දනවන්නේය. 


පුහුණුව තුලින් බලාපොරොත්තු වනුයේ මැරීන් සෙබලු යුධය තුල කිනම් පරිස්ථිතිකය හෝ දරා ගැනීමේ කුසලතාව නිර්මාණය කිරීම හා කිනම් යුධ අවස්ථාවකට හෝ සුදුසු ලෙස සෙබලුන් නිර්මාණය කිරීමය්. මේ හෙය්න් පුහුණුව දැඩි දරදඩු ස්වභාවයක් ගනිය් ඒ දරදඩු භාවය සෙබලුන් විශයෙහි ඇතිකරන්නා වූ දැඩි මානසික පීඩනය , දරදඩු විනය නීතීන් පැනවීම් තුලින් ආධුනික මැරීන් සෙබලුන් තුල ඇතිවන මානසික , කාය්ක පීඩනය කුබ්‍රික් විසින් Pyle  නම් පුහුණු  සෙබල   චරිතය ප්‍රධාන කරගනිමින් සෙසු සෙබල චරිත හරහා ඉතා සාර්ථකව ඉදිරිපත් කර ඇත්තේය. 


පුහුණුව තුලදී සෙබලුන්ගේ මානුෂවාදී ගතිලක්ෂණ පිරිහී ගොස් දරුණු දරදඩු මානසික ස්වභාවයන් එලි දැකීම , ඔවුන් තුල ඝාතක මානසිකත්වයක් රෝපනය වීම ආදී කරුණු කුබ්‍රික් විසින් චිත්‍රපටයේ පලමු කොටසෙහි මෙම පුහුණු පාසලේ සිද්ධි සමූහය යොදා ගනිමින් ඉදිරිපත් කරනු ලබය්. කුබ්‍රික් එකී කාරණය තෘප්ත කොට ඉදිරිපත් කිරීම අරබයා යොදා ගන්නා දර්ශන සමූහය කාලය ගෙවී යත්ම ක්‍රමයෙන් කටුක වෙය්. එහෙය්න් පලමුකොටස කුබ්‍රික් විසින් අහවර කරනුයේ ප්‍රේක්ෂකයා කම්පනයට පත්වන සුලු දර්ශන සමූහයකිනි. 


දෙවැනි කොටසෙහි කුබ්‍රික් පලමු කොටසේදී හදුන්වා දුන් ජෝකර් නම් සෙබල චරිතය ඉදිරියට ගෙනයය්. වියට්නාමය තුල පිරිහී ගිය ජන සමාජය , යුධය හේතුවෙන් අවිධිමත් ජන ජීවිත කුබ්‍රික් විසින් ප්‍රථමයෙන් ප්‍රේක්ෂකයාට පසක්.කරවය්.. සෙබල ජෝකර් විසින් නරඹන්නාට කතාන්දරය කියය්. සමහර සිදුවීම් ජෝකර් විසින් නරඹන්නාට විස්තර කරය්. වියට්නාම් යුධයේ අදුරු දරුණු පැතිකඩ සෙබල ජෝකර් හරහා දිගහැරීමට කුබ්‍රික් කටයුතු කරය් . මෙහිදීද කුබ්‍රික් විසින් ක්‍රමයෙන් දර්ශන කටුක කරවන්නේය . 


යුද්ධය මිනිසාගෙන් මනුශ්‍යත්වය ප්‍රශ්න කරන අයුරු කුබ්‍රික් විසින් මෙහිදී සිනමාවට ගෙන එන්නේය. මෙය දඩයමකි. සෙබලුන් දඩයක්කරුවන් මෙන් සතුරන් මරා වියරුව සතුටු වන අයුරු විවේචනාත්මකව කුබ්‍රික් චිත්‍රපටය තුල දිගහරින්නේය. මේ යුද්ධය කුමක් හෙය්න්ද ? නිදහස අරඹයාය. නමුත් නිදහස් වන්නේ කුමකින්ද ? කුබ්‍රික් ප්‍රේක්ෂකයාට ඉතිරි කරන ප්‍රශ්නාර්ථයකි . එකිනෙකා මැරෙමින් දිනන්නට හදනුයේ කුමක්ද යන පැනයද කුබ්‍රික් නගන්නේය.


සිනමාපටය පුරා මෙහි සිනෙමැටොග්‍රැෆි හා දෙබස් ඉතා හොදින් කැපී පෙනෙන සාධකයක් වූයේය. කුබ්‍රික්ගේ සිනමාපටයන්හි විශිෂ්ඨත්වය , ඔහුගේ දර්ශන නිර්මාණය හා ගැඹුරු සංවාද රචනයන් සමග දක්වනුයේ වෘක්ෂයක් මුදුන් මුලක් සමග වන සබදතාව ආකාරයේ සබදතාවකි. මෙහිද එසේමය. ඉතා විශිෂ්ට සිනෙමැටොග්‍රැෆි භාවිතයක් මා මෙහිදී අත්වින්දෙමි. කුබ්‍රික්ගෙ සියුම් සිනමා සංඛේත භාවිතය හා එය එක් වූ විට තිරය මත මවන්නා වූ දර්ශනයන්හි ප්‍රබලතාව කෙතරම් දැය් සිනමාපටය නරඹා අවබෝධ කරගත යුක්තකි. ඊටම මෙහි සංවාදයන්ද එක් වූ විට දර්ශනයෙන් දර්ශනය ප්‍රේක්ෂකයා හට සමීප කරවන රසාලිප්ත සිනමා භාෂණය නරඹන්නා නිරුත්තර කරවනු ලබය්. 


මෙය විශිෂ්ට සිනමා භාවිතයක අග්‍ර ඵලයකි. කුබ්‍රික් විසින් නෙලුම් පත්‍රයක පියනගන්නා මෙන් සියුම්ව මෙන් අතිශය ප්‍රබලව සිනමාව භාවිතා කරන අයුරු තතු දන්නෝ දනිති. කිනම් ප්‍රස්තූතයක් වුවද පුලුල් වපසරියකින් ඊට ප්‍රබල සිනමා ප්‍රකාශනයක් ගෙන ඒමට කුබ්‍රික් රුසියෙකි .මෙයද එසේ නිමවු අග්‍රගණ්‍ය සිනමාපටයකි. වියට්නාම් යුද්ධය හා ඊට මැදි වූ ඇමරිකානු මැරීන් සෙබලු දෙස ඔබට ආගන්තුක  දෘෂ්ටි කෝණයකින් හා පුලුල් වපසරියකින් යුතුව නරඹනු කැමැත්තෝ මෙම සිනෙරුවෙහි පහස ලැබිය යුතුමය.  

                                                   🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts