A Tale Of Two Sisters ( 2003)


 A Tale Of Two Sisters ( 2003)


Kim Jee-Woon කොරියානු සිනමාවේ අපූර්වතමයෙක් වනුයේ ඔහුගේ සිනමාකරණයේ ඇති ඔහුටම අනන්‍ය වූ අපූර්ව හැඩය නිසාවෙනි. ඔහුගේ සෑම නිර්මාණයක් තුල කිනම් කතා තේමාවක උවද ඔහු භාෂණය කරනුයේ මනුශ්‍ය චරිත වල ගතිකත්වයය්. ඔවුන්ගේ මානසික චින්තනයන් හි ගතිකත්වයය් . ඔව්නොව්න්ගේ චින්තනයන් මත පදනම් වන ක්‍රියාවන් ඇති කරන්නා වූ කාලයට කෙලෙසකවත් සුව කිරීමෙන් පූර්ණය කල නොහැකි වන්නා වූ ඛේදාන්තය්.


එකී කාරණා ශපථ කරන්නා වූ කදිමම උදාහරණය වනුයේ අපගේ කතා නායකයා වන Kim Jee-Woon විසින් 2010 වසරේ ලියා අධ්‍යක්ෂණය කරනු ලැබූ I Saw The Devil නම් ත්‍රිලර් ශානරයේ ඉහලම ස්තර ස්පර්ශ කිරීමට සමත් වූ විශිෂ්ඨ කොරියානු සිනමාපටයය් . එකී සිනමාපටය නැරඹීමෙන් අනතුරුව Kim Jee Woon ගේ සිනමා භාෂණය පිළිබඳව මා හට පහළ වූ අපූර්ව සිනමා ආශ්වාදය නිසාවෙන් මා නිරායාසයෙන් ම Kim Jee Woon ගේ අනෙකුත් නිර්මාණය සොයා නැරඹීමට පෙළඹීමි


එසේ නරඹන ලද අපූර්ව සිනමා කෘතියක් වනුයේ Kim Jee Woon  නම් අපූර්වතමයා 2003 දී ලියා අධ්‍යක්ෂණය කරන ලද A Tale Of Two Sisters  නම්  විශිෂ්ට සිනමා කෘතියය්. 


හුදෙක් බැලූ බැල්මට යමෙක් මෙය තවත් එක් සාම්ප්‍රදායික  Psychological Horror  ශානරයට අයත්  සිනමාපටයක් යය් නිගමනය කල හැක. නමුත් එය එසේ නොවේ එය මාහට ශපථ විය හැක. මෙය එකී ශානරය කනපිට ගැසූ නිර්මාණයකි. 


මා මෙහිදි සිනමාපටයේ කතාන්දරය රචනය තුල අන්තර්ගත කිරීමට උත්සාහ නොකරමි . මන්ද යත් ඉන් සිනමාපටයේ යම් යම් කරුණු ඉගි ලෙස ඔබට ලබා දීමෙන් මෙම සිනමාපටය රස විදීම ඔබට නිසියාකාරව කරගත හැකි නොවනු ඇතැය් නිගමනය කරන නිසාවෙනි.. සිනමාපටයහි කතාන්දරය පිළිබඳව කිසිදු ඉගියක් නොමැතිව රස විදිය යුතු සිනමාපටයකි මෙය.


මෙම සිනමාපටයේ සුවිශේෂත්වය ත්‍රීව්‍ර කරන්නක් වනුයේවනුයේ මෙහි සිනමා ආඛ්‍යානයය්. කිසි විටක නරඹන්නා හට පුර්ව නිගමනයකට එළඹිය නොහැකි වන සේ සූක්ෂම ආඛ්‍යානයකින් යුතුව රචනය කර ඇති මෙහි තිරපිටපත සැබවින්ම ඉතාමත් ප්‍රශංසනීයය. රචකයා කිසි විටකත් කතාන්දරය එකවර කීමට නොයෙය්. හෙතෙම සැම විටම කතාන්දරය තුල කුකුසක් නරඹන්නාට ඇති කරය්. 

ඒ සදහා ඔහු තිරපිටපත තුල අන්තර්ගත කරන්නට යෙදෙන සෑම චරිතයක්ම , සෑම දර්ශනයක්ම , සෑම දෙබසක්ම භාවිතා කරය්. අවසානය වන තෙක්ම සිනමාපටයේ කතාන්දරය නිශ්චිතව ගොඩ නගා ගැනීම උගහටය. සිනමාපටයේ කතාන්දරය රූපකයක් ලෙස ගතහොත් එය පැටලුනු නූල් පන්දුවකි. තිරකතාකරු පැටලුම ලිහනුයේ සිනමාපටයේ අවසාන මිනිත්තු දහයේදීය. එතෙක් ප්‍රේක්ෂකයා තබ්බීරිව විමසුම් මනසින් සිනමාපටයට ඇද බැද තබා ගැනීම තිරපිටපතෙ විශිෂ්ඨත්වයය්. තිරකතා කරුගේ ප්‍රතිභාවය්.


බැලූ බැල්මට කතාන්දරය සරල යැය් මෙය  නැරඹූවෙකු වරක් මට පැවසීමට යෙදුණි . අත්‍යන්තයෙන් ම ඔහු නිවරදිය. මෙහි කතාන්දරය මෙම තිරපිටපතෙහි ආඛ්‍යානය ව්‍යාකූල කර තිබුණද කතාන්දරය සරලය. නමුදු මෙහි කතාන්දරය විසින් විවරණය කරන්නට යෙදෙන්නා  වූ ප්‍රස්තූතය කිසිසේත්ම සරල නැත.


මනුශ්‍යන් ඔවුන්ගේ ඒකාකාරී නොවන මනෝභාවයන්ට එකගව පටු අරමුණු උදෙසා ගනු ලබන ක්ෂ්ණික තීරණයන් ඔවුන්ට හෝ ඔවුනොවුන්ගේ ආශ්‍රිතයන්ට ඇති කරනුයේ සුඛාන්තයක් නොවේ. එය පටු අරමුණ සාක්ෂාත් වීමෙන් කෙටි කාලීනව යම් වින්දනයක් ඇති කලද. එය දීර්ඝකාලීන නොවන්නෙ හෘදසාක්ෂිය සැම විටම ක්‍රියාවන් සාධාරණීකරණය නොකරන නිසාවෙනි. අවසානයේ සියල්ල පසුතැවීම් පමණි විදීමක් නැත විදවීමක් පමණි.  මෙම සිනමාපටයේ ප්‍රස්තූතය එයය්.


ඔබ කොරියානු සිනමාවේ විශිෂ්ඨත්වය සොයා යෑමට දොළක් ඇත්තෙක් නම් ඔබ විසින් අනිවාර්යයෙන් ම නැරඹිය යුතු මෙන්ම කියවිය යුතු සිනමාපටයකි මෙය. මෙය නැරඹීම උදෙසා වැය කරන්නා වු හෝරා ද්විත්වය කිසිසේත්ම අපතේ නොයන බවත් එය ඔබට විශිෂ්ට කොරියානු සෙලියුලය්ටයක ආශ්වාදය ලගා කරවන බව මාගේ විශ්වාසයය්.


                                              🖋️ හිරුෂ කසුන්

Comments

Popular Posts