7th Heaven ( 1927)
7th Heaven ( 1927)
Frank Borzageට ඔස්කාර් ගෙනා රෝමාන්තික ප්‍රාතිහාර්ය
ප්‍රේමයට සංවේදී නොවන්නා වූ හදවතක් සොයා ගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයා ගැනීම බදු කාර්‍යකි. සෑම මානුශ හදවතක්ම ප්‍රේමය ඉදිරියේ කීකරුය. තව අතකට ප්‍රේමය යනු තමා විසින් තමාව සොයා ගැනීමකි. සියලුම මනුශ්‍ය බලාපොරොත්තු , ඉච්ඡාවන් , ප්‍රියතාවන් , කැපකිරීම් , වේදනාවන් , සංතෘෂ්ටීන් හි අවසන් නැවතුම හෝ අවසන් අරමුණ විය හැක්කේ තමාට උරුම ප්‍රේමය සොයා ගැනීමය. එය බාගදා අතිශයොක්තියක් වුවද එහි සත්‍යතාවක් නැතැය් පැවසීම උගහටය. එහෙය්න් මා මෙසේ පවසමි. ප්‍රේමය යනු වේදනාවන් , පරිත්‍යාගයන් තුලින් හෝ තමා තමාගේ සතුට සොයා ගැනීමය. තමා විසින් තමාව සොයා ගැනීමය. එය ප්‍රාර්ථනාවන් හා පරිත්‍යාගය අතර කැටි වූ අපූර්ව සබදතාවකි . දිව්‍යමය සතුටකි.
Frank Borzage විසින් සිනමාත්මකව කොනිත්තන්නේ සියල්ලන් තුලම වූ ඒ අපූර්ව ප්‍රේමාතූරයාවය. ඔවුන්ගේ හදවත් තුල ගැහෙන ප්‍රේමයේ හදගැස්මය. ප්‍රාර්ථනාවන් හා පරිත්‍යාගයන් අතර දෝලනය වන ඒ අපූර්ව ආශ්චර්යවත් හැගීමය. එලෙසින් මෙම සෞන්දර්යාත්මක සිනමා වියමන නරඹන්නා හා ප්‍රේමාලාපයේ යෙදෙන්නේය.
7th Heaven නිහඩ සිනමා වියමන නරඹන්නා නිරායාසයෙන්ම හැගීම්බර බොළද ප්‍රේමාතූරයකු වන්නේය. ප්‍රේමය සැබවින්ම බොලදය . මා සටහන ඇරඹුමේදී මා දන්නා ශිල්ප සියල්ල දමා නිර්වචනයක් ගොඩනැගීමට තැනුවේද එහෙය්නි. ප්‍රේමය බොළද නමුදු ලිහිය නොහැකි ගැටලුවකි. එහෙය්න් 7th Heaven නරඹන්නා නිරායාසයෙන්ම බොළද ප්‍රේමාතූරයකු වීම මහ අරුමයක් නොවන්නේය.
බොළද නමුත් සෞන්දර්යාත්මක, ආත්මීය , ප්‍රේමණීය , සංවේදී හැගීම්බර සිනමා ලොවකට නරඹන්නා ගෙනගොස් තැබීමට තරම් Frank Borzage , 7th Heaven තුල ශිල්ප දක්වන්නේය. ඔහුගේ කතාන්දරය අතිශය සරලය. විටක බොළදය. නමුත් දිව්‍යමය සිනමා රසයක් නරඹන්නාට ගෙන එන්නේය. ඉතින් මෙය ප්‍රාතිහාර්යයක් නොවෙය්ද මිත්‍රවරුනි.
චිකෝ නගරයේ කසල කාණුව පවිත්‍ර කරන්නෙකි. ඔහුගේ එකම ඉච්ඡාව වන්නේ නගරයේ වීදි පවිත්‍ර කරන්නා ලෙස පත්වීමක් ලබා ගැනීමය. ඒ හැර ඔහුගේ යටිහිතෙහි තවත් ප්‍රාර්ථනාවක් වෙය්. ඒ බොළද සුරූපී කාන්තාවක් තමාගේ බිරිද කරගැනීමය. මේ කාරණාවන් ද්විත්වයම සාක්ශාත් කරගනු වස් චිකෝ පල්ලියෙහි දිනපතා ප්‍රාර්ථනා කරන්නේය. චිකෝ හට ඩයන් හමුවන්නේය මේ අතරවාරයේදීය.
නිහඩ සිනමාව මෙන්ම නිහඩ සිනමාකරුවා නරඹන්නාගේ හැගීම් සමග කරනුයේ අමුතුම ගණුදෙනුවකි. විටක නරඹන්නාව ඉල ඇදෙන ප්‍රහසනයෙන් පුරවන්ටද ඉන් ක්ෂණයකින් හැගීම්බර අපූර්ව ප්‍රේමයෙන්ද, ඉන් ක්ෂණයකින් ප්‍රේක්ෂක පපුකැවුතු මහා දොම්නසකින් පුරවා දෙනුවන් කදුලින් තෙත් කරවීමටද ඔවුන් දක්වනුයේ අපූර්ව ප්‍රතිභාවකි. ෆ්‍රෑන්ක්ටද එය අංශු මාත්‍රයක අඩුවකින් තොරව පිහිටා ඇත්තේය. ඔහුගේ 7th Heaven නරඹන්නාගේ සියලුම සෞන්දර්යාත්මක භාවයන් ස්පර්ශ කරන්නේය.
එසේම එකල බහුතර නිහඩ සිනමාකරුවන් මෙන් මෙහිද එකල සමාජමය හා දේශපාලන පැතිකඩක් දිගහැරීමටද ෆ්‍රෑන්ක් අමතක නොකරන්නේය. දිළිඳු සාමාන්‍ය ජනයාගේ අවිහිංසක සරල දිවිපැවැත්ම , ඔවුන්ගේ සිතුම්පැතුම් , ප්‍රාර්ථනාවන් ක්ෂණයෙන් උභතෝකෝටිකයහි ගිල්වන්නට සමත්වන දේශපාලනික ඇනකොටාගැනීම්ද මෙහිදී ෆ්‍රෑන්ක් දිගහරින්නේය. එය තුලින්ම ප්‍රේමය , සංවේගය , අවිනිශ්චිතතාව සිනමාපටය තුල හොද හැටි මිශ්‍ර කරන්නට ෆ්‍රෑන්ක් අපූර්ව ලෙස කටයුතු යොදා ඇත්තේය.
මා මෙය අතිශය සෞන්දර්යාත්මක / හැගීම්බර සිනමා වියමනක් යැය් ඉහත මහ උජාරුවෙන් යුතුව උදම් ඇනුවේ ඒ නිසාවෙනි. කෙසේ නමුත් නිහඩ සිනමාව ප්‍රිය කරන්නන් අත්‍යන්තයෙන්ම මෙම සිනෙරුවෙහි පහස ලැබිය යුතුමය.
🖋️ හිරුෂ කසුන්



Comments
Post a Comment